ඔබ දේශපාලනයට යොමු වුණේ කොහොමද?
1988 හා 89 වසර රටේ පැවතුණු භීෂණ කාලයේ මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවකු වෙනවා. එවකට රටේ තිබූ තත්ත්වය මා අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. එදා මා විශ්වවිද්‍යාලය තුළ පැවති භීෂණකාරී තත්ත්වයෙන් මුදාගෙන එහි සහෝදර සිසුන් ඒකරාශී කරගෙන නැවත ශිෂ්‍ය සංගම් පණගැන්වීමට කටයුතු කළා. මා එහි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස ද සිංහල සංගමයේ සභාපතිවරයා ලෙස ද විරු සිසු අනුස්මරණ පදනමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා. මේ වනවිට මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදිවිද්‍යාර්ථින්ගේ සංගමයේ විධායක සභිකයකු ලෙස ද කටයුතු කරනවා. එතැනින් නොනැවතුණ මා, රටේ පවතින අසාධාරණයට එරෙහිව රටේ ප්රගතිශිලී ජනතාව සමඟ ද කටයුතු කිරීමට පටන් ගත්තා. ඒ තුළින් මා වාමාංශික දේශපාලනයට වැඩි නැඹුරුවීමක් දැක්වූවා.
ඔබ විශ්වවිද්‍යාලයෙන් පිටවිමෙන් පසුව මොන වෘත්තියන්ට ද යොමු වුණේ ?
මා එම විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියකු වෙනවා. එහිම ලේඛකත්ව හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු ද වෙනවා. ඒ නිසා මා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පිටවීමෙන් පසුව ශ්‍රී ලංකා පොලිසියේ මහජන සම්බන්ධතා නිලධාරියකු වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කළා . මීට අමතරව ලංකාදීප හා ඉරිදා ලංකාදීප යන පුවත්පත්වල පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළා. ඒ අතර මා නීති විද්‍යාලයට ඇතුළත් වී නීති අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නා. මා නීතිඥයකු ලෙස කොළඹ, අලුත්කඩේ, ගම්පහ, පූගොඩ හා මහර යන අධිකරණවල කටයුතු කරනවා.
ඔබ නීතිඥ වෘත්තියේ යෙදී සිටියදීම දේශපාලනයට යොමු වුණේ ඇයි?
දේශපාලනය හා නීතිය යන විෂයයන් දෙක එකමගේ ගමන් කරන විෂයයන් දෙකක්. ඒ වගේම දේශපාලනය කිරීමේදී නීතිය ගැන දැනුමක් ලබා තිබීම ඉතාමත්ම වැදගත්. ඒ නිසාම නීතිඥවරුන් බොහෝ දෙනෙක් දේශපාලනයට සම්බන්ධවීමට උනන්දුවක් දක්වනවා. නමුත් මා නීතිඥ වෘත්තිය නිසාම දේශපාලනයට සම්බන්ධවූ කෙනෙක් නෙමෙයි. මා විශ්වවිද්‍යාල සිසුවකු ලෙස එහි ශිෂ්‍ය සංගම්වලට යොමු වී ඒ තුළින් දේශපාලනයට යොමු වූ කෙනෙක්.
ඔබ ක්‍රියාකාරී දේශපාලනයට යොමු වීමෙන් පසුව ජනතාවට බලපාන පොදු ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා දායකත්වය ලබා දී තිබෙනව ද?
ඉකුත් 2007 වසරේ දොම්පේ, කිරිඳිවැල, මාලිගාවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් කසළ ගෙන ඒමට පටන් ගත්තා. එහිදී දොම්පේ ජනතාවගේ දැඩි විරෝධතාවක් එල්ල වුණා. එය වළක්වා ගැනීම සඳහා දොම්පේ සුරැකීමේ සංවිධානයක් පිහිටුවලා උද්ඝෝෂණ හා විරෝධතා පවත්වලා, දැඩි පරිශ්‍රමයක් දරලා එය නවත්වා ගත්තා. එහි කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් මා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ විතරක් නෙමෙයි 2022 වසරේ පවත්වන ලද මහජන අරගලයේ නීතිඥවරයකු ලෙස මහජන සටන්වලදී සක්‍රිය දායකත්වයක් ලබා දුන්නා. මේවා ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.
ජාතික ජන බලවේගයට ඔබ ලබා දී තිබෙන දායකත්වය කෙසේ ද?
මා පොලිස් දෙපාර්තමේන්තුවෙන් සමුගෙන ඉකුත් 2019 වසරේ පවත්වන ලද ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක සහෝදරයා ඉදිරිපත් වූ අවස්ථාවේ පූර්ණ කැපවීමකින් කටයුතු කළා. ඉන්පසුව 2020දී පවත්වන ලද මහමැතිවරණයට මා දොම්පේ ආසනයෙන් තරග කළා. ඒ මැතිවරණයේදී අපගේ පක්ෂයට ලැබුණේ ඡන්ද සියයට 03 යි කියලා ඇතැමුන් සමච්චල් කළා. එහිදී අපි විශාල කැපවීමක් කරලා ආසන මට්ටමෙන් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංවිධාන, ගුරු සංවිධාන, ගොවි සංවිධාන, විද්වත් සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, වෛද්‍යවරුන්ගේ සංවිධාන , විශ්‍රාමික පොලිස් හා ත්‍රිවිධ හමුදා සංවිධාන හා කාන්තා සංවිධාන ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංවිධාන ඇති කරලා පක්ෂය ශක්තිමත් කළා. ඒ අනුව මා ද දොම්පේ ආසනයට අයත් ග්‍රාමසේවා වසම් 133හිම එම සංවිධාන පිහිටුවා දොම්පේ ආසනය බලගැන්නුවා. මේ ජනාධිපතිවරණයේදී අප පක්ෂයේ ජයග්‍රහණයට එය විශාල රුකුලක් වුණා. ඒ වගේම එම ජයග්‍රහණයට අඩිතාලම වැටුණා.
ගම්පහ දිස්ත්‍රික්කය මැතිවරණවලදී තීරණාත්මක මැතිවරණ දිස්ත්‍රික්කයක්. එහි ප්‍රබලයන් රැසක් තරග කරද්දි නවකයන්ට තැනක් ලැබෙයි ද?
මේ ප්‍රබලයන් කියන බොහෝ දෙනෙක් වංචා, දූෂණ, සොරකම් හා කප්පම්වලින් තමයි ප්‍රබලයන් වී තිබෙන්නේ. ගම්පහ ජනතාව දැන් ඔවුන් හොඳට හඳුනනවා. ඒ නිසා ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ අත්දැකීම් හා පළපුරුද්දක් තිබෙන වැඩ කළ හැකි බුද්ධිමත් දූෂණයෙන් තොර පිරිසුදු අයයි. එහිදි අප වැනි නව මුහුණුවලට ජනතාව වැඩි අවධානයක් යොමු කරනවා. අපි නව මුහුණු වුණාට දේශපාලනයට අලුත් නැහැ. මා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්රගතිශීලී ජනතාව අතර වසර ගණනාවක සිට දේශපාලන හා සමාජ මෙහෙවර යෙදී සිටිනවා.
මේ මහමැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය ඔබ දකින්නේ කෙසේද?
අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ශක්තිමත් ප්‍රබල පක්ෂයක් හැටියටයි. එහිදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. සියයට තුනක්ව තිබූ අපගේ ඡන්ද පදනම ශීඝ්‍රයෙන් ඉහළ නංවාලමින් ස්ථාවර මට්ටමකට ඔසවා තබන්නට පක්ෂයක් හැටියට අපට හැකිවුණා. නමුත් ඒ අවස්ථාවේ ඇතැමුන් අපගේ පක්ෂය ජයග්‍රහණය කළහොත් රටම ලේ විලක් වෙයි, රටම ගිනි තබයි කියලා බොරු ප්‍රචාර පතුරුවා හැරියා. ඒ හේතුවෙන් ඇතැම් පිරිස් අපට ඡන්දය දුන්නේ නැහැ.
නමුත් ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ පැවතුණේ සාමකාමී වාතාවරණයක්. ඒ නිසා රටේ ඇතිවීගෙන යන මේ වෙනස ගැන ඒ අවස්ථාවේ අපට ඡන්දය නොදුන් අය පවා දැන් පැහැදී සිටිනවා. ඒ නිසා මේ මහ මැතිවරණයේදී එදා අපට ඡන්දය නොදුන් අය මෙවර ඡන්දය දෙන්න ඉදිරිපත් වෙනවා. එබැවින් මේ මහ මැතිවරණයේදී අපට ශක්තිමත් රජයක් පිහිටුවීමට හැකි වෙනවා.
මේ මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය ඔබ දකින්නේ කෙසේද?
ජනාධිපතිවරණයේදී අපගේ පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද අට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලැබුණා. ඒ අනුව අපට මන්ත්‍රී ධුර 12ක් ලැබෙනවා. නමුත් මේ මහ මැතිවරණයට අපි ජනාධිපතිවරණයට වඩා ශක්තිමත්ව මුහුණදෙනවා. මේ අවස්ථාවේ ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් විශාල පිරිසක් අපට ඡන්දය ලබා දෙනවා. ඒ අනුව අපි මේ මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර 15 ක ඉලක්කයක් තබාගෙනයි ඡන්දයට මුහුණ දෙන්නේ. එම ඉලක්කය කරා යාමට අපට පුළුවන්.
මේ මහ මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කිරීමෙන් පසුව රටේ කිසිම කෙනෙක් කොන් නොකොට සමස්ත සියලු දෙනාම එකමුතු කර ගෙන පුනරුද යුගයක් රටට උදා කරනවා.
මල්වාන සමූහ – මහානාම විතානගේ