මෙරට ජාතික පුවත්පත් රැසක්ම මේ වන විට වසා දමා ඇති බවත්, දැනට මුද්‍රණය කරන ජාතික පුවත්පත් රැක ගැනීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර මහතා ඇතුළු වර්තමාන රජයෙන් තම පක්‍ෂය ඉල්ලා සිටින බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ මාලඹේ නගරයේ පෙරේදා (06) පැවැති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ලෝකයේ රටවල් රැසකම ජාතික පුවත්පත් පවත්වාගෙන යෑමට ඒ ඒ රජයන් සහන දී තිබෙනවා. පුවත්පත් කලාව රැක ගැනීමට වර්තමාන රජය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරනවා. මෙරට ජාතික පුවත්පත් රැසක්ම දැනට මුද්‍රණය කරන්නේ පෞද්ගලික අංශයෙන්. පුවත්පත් පවත්වාගෙන යෑම එම ආයතනවලට දැඩි අපහසුතාවක්. ආයතන පෞද්ගලික වුවත් ජාතික පුවත්පත් මඟින් භාෂාව, සංස්කෘතිය ඇතුළු සමාජ සේවා රැසක් සිදු කරනවා. මුද්‍රණ වියදම්, තීන්ත, කඩදාසිය ඇතුළු බොහෝ දෑවල මිල ඉහළ යෑමත්, පාඨකයන් ටිකෙන් ටික පුවත්පත් කියැවීමෙන් ඈත්වීමත් නිසා අද මේ තත්ත්වය උදා වෙලා.
වර්තමානයේ සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඇසුරෙන් ප්‍රවෘත්ති ඇතුළු අනෙකුත් දේ කියැවීමට ජනතාව පෙලඹී සිටිනවා. නමුත් පුවත්පතින් ලැබෙන සාරය අන්තර්ජාලයෙන් ලැබෙන්නේ නෑ. මේ නිසා පුවත්පත් රැකගැනීම ජාතික වගකීමක්. මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අවධානය යොමු කර ඊට නිසි වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ඉල්ලා සිටිනවා.”