වත්මන් ජනාධිපතිවරයාට බහුතර බලය හිමි විය යුතු බවත්, එසේ නොවුණොත් රට අරාජික වනු ඇති බවත් සර්වජන බලය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඉන්දික රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා අත්තනගල්ලේ පැවති ජනහමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ශක්තිමත් විපක්ෂයක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ශක්තිමත් යනු ආණ්ඩුව කරන සියලු දෙයට විරුද්ධ වීම නොව ආණ්ඩුව කරන සෑම හොඳ දෙයකටම සහාය දෙමින් අඩුපාඩු පෙන්වා දෙමින් ජනතාවාදී ශක්තිමත් පාලනයක් ගෙන යෑමට පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය සහාය දීමයි.
මේ තුළ ගැටුම්, සටන්, යෝජනා සහ චෝදනා තිබිය හැකියි. මේ සඳහා ගිරවුන් නොව පරිණත මිනිසුන් ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුයි. එය ඡන්දය දෙන ජනතාව සතු කාර්යභාරයක්. මම කිසි දවසක ඡන්ද බලාගෙන වැඩ කළේ නෑ.