Home » වසර 150ට වඩා ඉපැරණි අම්බලම් විනාශයට යන්න දෙන්න එපා

වසර 150ට වඩා ඉපැරණි අම්බලම් විනාශයට යන්න දෙන්න එපා

පිළිසකර කර දෙන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලති

by mahesh
November 8, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

වසර 150ට වඩා ඉපැරණි බව කියන යක්කල, අඹගස්පිටිය ගල් අම්බලම සහ ගල්ළිඳවත්ත අම්බලමේ වහලයට සෙවිලි කර ඇති සිංහල උළු කැට පහත් වීම නිසා වහළය දිරාපත්වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මහර ආසනයට අයත් මෙම අම්බලම්වල පොළොවට යොදා ඇති සිමෙන්ති පුපුරා තැනින් තැන ගිලා බැස ඇති බැවින් මෙම ස්ථානයට පැමිණෙන ජනතාව විවිධ ගැටලුවලට මුහුණපා ඇති බවද ඔවුහු කියති.

මුල් කාලයේ යක්කල සිට රදාවාන මාර්ගයේ කරත්ත පාරක් තිබී ඇති බවත් මෙහි ගමන් ගන්නා පදිකයින්ට නවාතැන් ගැනීමේ අරමුණින් මෙම ගල් අම්බලම ඉදි කර ඇති බවත් ප්‍රදේශයේ පැරැන්නෝ පවසති. මේ වන විට මෙහි මරණාධාර සමිතිය, සමෘද්ධි සමිතිය, කෘෂිකර්ම සමිතිය ඇතුළු විවිධ සමිති සමාගම් රැසක රැස්වීම් පැවැත්වීම සිදුකරයි.

ගල්ළිඳවත්ත අම්බලම ආසනයේ පිහිටි ඉපැරණි ගල් ළිඳෙන් දිය නෑමට පැමිණෙන කාන්තාවන්ගේ ඇඳුම් උනා තැබීමේ අරමුණින් මෙම අම්බලම ඉදි කර ඇති බව එහි ගිය අපට දැන ගැනීමට හැකි විය. මේ වන විට මෙම අම්බලම් දෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර ඇති අතර එහෙත් මේ වන විට විවිධ හේතූන් නිසා මෙම අම්බලම්වල වහල සෙවිලි කර ඇති සිංහල උළු පහත්වී ඇති බැවින් වර්ෂා කාලයට මේවා තෙමී විනාශ වීමේ අවදානමක් මතුව ඇත. ඒ අනුව මහර ආසනයට අයත් ඉපැරණි යක්කල, අඹගස්පිටිය ගල් අම්බලම සහ ගල්ළිඳවත්ත අම්බලම නිසි පරිදි ප්‍රතිසංස්කරණ කර දෙන ලෙසට ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT