Home » කොදෙව් වේග පන්දු යවන්නා නායකයාට ඇඟිල්ල දිගුකොට පිටියෙන් ඉවතට යයි
මහත්වරුන්ගේ ක්‍රීඩාවට කළු පැල්ලමක්

කොදෙව් වේග පන්දු යවන්නා නායකයාට ඇඟිල්ල දිගුකොට පිටියෙන් ඉවතට යයි

by mahesh
November 8, 2024 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

එංගලන්තය සමඟ පැවති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නායකයාට ප්‍රසිද්ධියේ බැණවැදී පිටියෙන් ඉවතට යෑම මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොවටින පහත් ක්‍රියාවක් බවට ප්‍රබල විවේචන එල්ල වෙයි. බටහිර ඉන්දීය කොදෙව් බ්‍රිජ්ටවුන්හි ඊයේ පැවති මේ තරගයේදී අල්සාරි ජෝසප් පිටියෙන් ඉවතට යෑමත් සමඟ කොදෙව් පිල ක්‍රීඩකයන් 10 දෙනකු සමඟ පිටියේ රැඳී සිටියේය.

තරගයේ සිව්වැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් පසු අල්සාරි ජෝසප් නායකයා වෙත පැමිණ පන්දු යවන්නන් රඳවාගත යුතු ආකාරය පිළිබදව යම් කතාබහක් ඇතිකරගත් අතර, ඊළඟ පන්දුවේදී පන්දු යවන්නා නායකයා වෙතට පැමිණ ඇඟිල්ල දිගුකොට බැණ වැදිණි. ඔහු සිව්වැනි පන්දුවේදී කඩුල්ලක් දවා ගැනීමට සමත් වුවද, ඕවරය නිමාවී‍මෙන් පසු අමනාපයෙන් යුතුව ක්‍රීඩා පිටියෙන් ඉවත්වී ගියේය. කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී ක්‍රීඩාගාරයෙන් පිටත හතරේ සීමාව අසලට පැමිණ වේග පන්දු යවන්නාගේ කෝපය සංසිඳුවීමට උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වී ගියේය.

කෙසේ වෙතත්, ඊළඟ ඕවරය යැවූ මැතිව් ෆෝඩ් ඕවරය අවසන් කරන තුරුම ක්‍රීඩාගාරයේ වාඩි වී සිටි අල්සාරි ජෝසප් ආපසු ක්‍රීඩා පිටියට පැමිණිය ද නායකයා සමඟ කතාබහක් නොවුණි. ක්‍රීඩාගාරයේදී ප්‍රධාන පුහුණුකරු සැමී සහ අනෙකුත් කාර්ය මණ්ඩලය මෙන්ම ක්‍රීඩකයන් වේග පන්දු යවන්නා සන්සුන් කිරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි.

“නායකයකු හෝ ක්‍රීඩකයකු වශයෙන් ඔබට පිටියේ යම් දෙයක් සම්බන්ධයෙන් මතභේදයක් ඇති වන අවස්ථා බොහෝ තියෙන්නට පුළුවන්. නමුත් ඔබ එම ප්‍රශ්න දොරවල් වසා ඇති ආකාරයට විසඳාගත යුතුයි. ඔබේ නායකයා ඔබෙන් පන්දු යවන ලෙස ඉල්ලා සිටි විටදී ඔබ පන්දු යැවිය යුතුයි” මේ සිද්ධිය සජීවී ලෙස නරඹමින් විස්තර කථනයේ යෙදී සිටි හිටපු එංගලන්ත පිතිකරු මාර්ක් බුචර් පැවසීය.

මේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8ක ජයක් ලැබූ අතර, තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත් විය. ආරම්භක පිතිකරු බ්‍රේන්ඩන් කිං ලකුණු 102ක් ලබා ගත් අතර, කේසී කාර්ටි නොදැවී ලකුණු 128ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT