Home » කොරියාවට 5000 ක්

කොරියාවට 5000 ක්

by chanaka
November 12, 2024 4:31 pm 0 comment

දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එසේම නීත්‍යානුකූල නොවන අයුරින් E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදීම සඳහා විවිධ පුද්ගලයින් මුදල් රැස් කරන බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම, 2024 වසරේ ගතවූ කාලය තුලදී ශ්‍රි ලාංකිකයින් 5120 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ. නිශ්පාදන ක්ෂේත්‍රයට අදාල රැකියා සඳහා 4384 දෙනෙකුද, ධිවර ක්ෂේත්‍රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබේ.

මෙසේ පිටව ගිය තරුණයින් අතුරින් 3984 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනෙකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

තරුණියන්ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවෙමින් පවතින අතර, ඒ අනුව තරුණියන් 102 දෙනෙකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන අතර, අද වන විට තරුණ ප්‍රජාව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT