ගෝලීය අර්බුද සම්බන්ධව කටයුතු කරද්දී චීනයේ ෂිංජියැන් ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාවගේ අර්බුදයට ප්‍රමුඛත්වය දෙන ලෙස ලෝක උයිගර් කොංග්‍රසය අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උයිගර් ප්‍රජාවගේ අර්බුදයට අවධානය යොමු කිරීම සහතික කර ගැනීමට නව පරිපාලනය සමඟ සමීපව කටයුතු කරන බව අමෙරිකාවේ ජන ජනාධිපතිවරයාට සුබ පතමින් ලෝක උයිගර් කොංග්‍රසයේ සභාපති ටුර්ගන්ජන් අලාවුඩුන් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. චීන රජය සහ ෂින්ජියැං ප්‍රාන්තයේ උයිගර් ප්‍රජාව අතර පවතින අර්බුදය විසඳීමට නිශ්චිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද, ඒ සඳහා ට්‍රම්ප්ට පෙර පැවති බයිඩ්න්ගේ පාලන කාලයේදී ද අවධානය යොමු වූ බවත් ලෝක උයිගර් කොංග්‍රසයේ සභාපතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ජෝ බයිඩ්න් ජනාධිපතිධුරයේ කටයුතු කළ සමයේදී උයිගර් ප්‍රජාව බලහත්කාරයෙන් ශ්‍රමයට යොදා ගැනීමට එරෙහිව පනතක් සම්මත කරගත් බවත්, ඒ අනුව බලහත්කාර ශ්‍රම භාවිතයෙන් සිදු කරනු ලබන චීන සමාගම්වල නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට බයිඩ්න් පරිපාලනය පියවර ගත් බවත් ලෝක උයිගර් කොංග්‍රසයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.