“ඔබ පැතූ ලොව අප ගොඩනඟමු” යැයි ඉල් මහ විරුවන් සිහිකර නිබඳව පෝස්ටර් ඇලවුණේය. කව් ගී ලියවුණේය. මර්දනයේ හස්තය මත්තේ, නැසී ගිය ජීවිත පිළිබඳව මතකාවර්ජන කරමින් ‘එදා ගිය මග සොයුර – සදා සමරමු වැතිර’ යැයි සඳහන් කළේ වුවද දිගටම පැමිණියේ මර්දනයමය.
නායකයන්ගේ සහ සගයන්ගේ ලේ, දහදිය සහ කඳුළු මත්තේ ජවිපෙ සිය අනවරත ගමනේ යෙදෙන්නේ, මේ රටේ දේශපාලන බල කේන්ද්‍රයට, නැවුම් ලක්ෂ්‍යයක් විවර කරමිනි.
රෝහණ විජේවීරගේ දේශපාලන ආගමනය සනිටුහන් වන්නේ, විප්ලව ඔස්සේ කොමියුනිස්ට් ව්‍යාපාරය බලය ලබා ගැනීම ලෝකයා අත්දැක ඇති සමයකය. කියුබාවේ විප්ලවය වසර හයක, නොනවතින මහන්සියක් විය. බැටිස්ටාගේ පාලනය පෙරළා දැමීම සඳහා කස්ත්‍රෝ ප්රමුඛ පිරිවර මහ පාරේ, ගන වනයේ අරගල කළහ. 1959 ජනවාරි පළමුවැනිදා කියුබාවේ බලය, කස්ත්‍රෝගේ සේනාව අල්ලා ගන්නා ලද හෙයින්, විප්ලවයේ සුවඳ ලෝක ගෝලය වටා සංවහනය විය. 1965 වසරේ ජවිපෙ උපදින්නේ මේ සංවහන ධාරාව ආඝ්‍රාණය කරමිනි.
ගමනේ තව දුර යද්දී ලෝක සමාජවාදී කඳවුරේ තවත් ආකෘති ජවිපෙ වෙත දැක බලා ගැනීමට හැකි විය. මැතිවරණයකින් කොමියුනිස්ට් ව්‍යාපාරයක් ලෝකයේ බලය අල්ලා ගන්නේ, 1970 අගෝස්තු මාසයේය. සැල්වදෝර් අලෙන්ඩේ, චිලියේ ජනාධිපති ධුරයට තේරී පත්වූයේ, ලෝක දේශපාලනයේ අලුත් කතාවක් ලෙසය. රෝහණ විජේවීර සිය දේශපාලන අභ්‍යාසය සඳහා මේ සියල්ල උපයෝගී කර ගන්නේය. හැත්තෑඑකේ සන්ධිස්ථානයෙන් පසු සිර ගෙදර සිට යළි නැඟිටින ජවිපෙ, නව සංවිධාන ව්‍යූහයක් සහිතව දේශපාලනය සඳහා ප්‍රවේශ විය. නාමික විපක්ෂය එජාප ආණ්ඩුව ඉදිරියේ හීලෑ ආකාරයෙන් හැසිරුණා මිස, එයට එරෙහිව නැඟී සිටියේ නැත. ධනවාදී ආණ්ඩුකරණය සඳහා සමාජවාදී මාවතේ පෙළ සදමින් ජවිපෙ මේ රටේ සැබෑ විපක්ෂය බවට පත් වන්නේය. කල්තියාම මේ විරෝධයේ හැඩරුව හඳුනාගත් ජයවර්ධන ආණ්ඩුව, අහක යන ප්‍රශ්නයක් ජවිපෙ කර එල්ලා, එහි දේශපාලනය තහනම් කළේය.
අධ්‍යාපන ධවල පත්‍රිකාව, පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම, ඉන්දු – ලංකා ගිවිසුම ආදියේ පටන් ආණ්ඩුවේ ඒකාධිපති තීන්දු සඳහා තහනම නොතකා ජවිපෙ සටන් වැදුණේය. එය දුෂ්කර ක්‍රියා පිළිවෙතක් විය. ඒ ගමනේ එක් ස්ථානයකදී 87 -89 නම් කාලය මතු වන්නේය. මේ සමය නිමා වන්නේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ඇතුළු ව්‍යාපාරයේ හැටදහසකට අධික ප්‍රජාවක් නින්දිත ලෙස මරා දැමීමෙනි.
අද නොවැම්බර් දහතුන් වැනිදාය. රෝහණ විජේවීර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ පණ පිටින් දවා හළු කරන ලද්දේ මෙදිනය.
විජේවීර සමු ගන්නා ලද්දේ මේ රටේ මතු නොව ලෝක දේශපාලනය සඳහා ද නවමු ආකෘතියක් හඳුන්වා දෙමිනි. එය කවදා හෝ ජය ධජ නංවනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ, නොකළේ වුවද, මේ මහ පොළොව මත එය පැළ කර යෑමට තරම් ඔහුගේ ශක්‍යතාව ඉහළ විය. වත්මන් ආණ්ඩුව වනාහි ඔහුගේ දේශපාලනය ජයග්‍රහණය කිරීමේ ප්‍රතිඵලය ය.
සර්වජන ඡන්ද බලය සඳහා අප ලබාදුන් අර්ථකථනය අන් යමක් නොවේ. ජනතා කැමැත්තය. ජනතාව සිය නියෝජිතයා ස්වකීය තේරීමක් ලෙස ලබා දෙනු ඇතැයි එහි තේරුම වුවද, මුල සිටම එයට වෙනත් ආකාරයක මෙහෙයවීමක් විය. අවසානයේ එය මේ රටේ පුරුද්දක් බවට පත්විය. පක්ෂය වනාහි ජනතා කැමැත්ත සඳහා වූ යන්ත්‍රණයක් මිස, ඡන්ද දායකයා එහි වහලෙක් නොවිය යුතුය යන්න සම්මතය වුවත්, පුරුද්ද, ඇබ්බැහිය බවට පත්ව දේශපාලනය තුළ අවසාන කැමැත්ත සඳහා ඉඩ ලැබුණේ තට්ටු මාරුවට පමණය. මේ ආස්ථානයෙන් දේශපාලනය විසන්ධි කිරීමේ කාර්යය සඳහා අත ගසන ලද්දේ විජේවීරය. ඔහු සමාරම්භ කළ ව්‍යාපාරය, මුහුණ දෙන ලද අභියෝගය විසල්ය. පක්ෂය තහනම් කිරීමේ අර්ථය යනු එම දේශපාලනයේ නිමාව සටහන් කිරීම සඳහා වූ වුවමනාවය. ජවිපෙ තහනම සඳහා වෙහෙස වූ සහ එම තීරණය ගන්නා ලද පිරිසගේ අභිප්‍රාය දැවී ගොස් ඇති වග, පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හඬ ගා කියන ලද්දේය. මරා දමන ලද රෝහණ විජේවීර යනු නිහඬ කළ නොහැකි මිනිසෙක් බව මෙම ජයග්‍රහණය කියාදී තිබේ. වසර තිස්පහක් ගතව ඇති මරණයක, මේ තරම් පණක් ඇතැයි ඝාතකයෝ නොසිතුවා, නිසැකය.
‘රෝහණ විජේවීර වෙඩි කා නසී’ 1989 නොවැම්බර් මස 14 දා, දිනමිණ සිය ප්‍රධාන පුවත වාර්තා කළේ එසේය.
උලපනේදී අල්ලයි, නායකයාට වෙඩි තැබූ සගයාත් නසී, ආදාහනය ඊයේම, බිරියට දරුවන්ට රැකවරණ, හිංසා එපා, සිය කැමැත්තෙන්ම ආයාචනයක්, යනාදී ලෙස උප සිරස්තල ගණනාවක්ම එම ප්‍රධාන පුවතේ විය.
‘ජනතා විමුක්ති පෙරමුණේ සභාපති රෝහණ විජේවීර මහතා (46) කොළඹට නුදුරු ජවිපෙ ප්රචාරක මූලස්ථානයක දී ඊයේ අලුයම වෙඩිකා මිය ගියේය. විදේශ ඇමැති හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ඊයේ මේ බව ප්‍රකාශ කළේය.’ යැයි ආරම්භ වූ එම පුවත කියවූ බොහෝ දෙනෙක් සිතන්නට ඇත්තේ, ජවිපෙ අවසානය කරා ගොස් ඇති බවය.
මරණයෙන් කෙළවර කළ නොහැකි දේශපාලනයක් විජේවීර සහ සගයෝ බිහි කර ඇත්තේය, යන්න දැන් සපථ වී හමාරය. රෝහණ විජේවීර, වේලාසනින් අවදිව දේශපාලනයේ යෙදුණේය. වේලාසනින්ම නික්ම ගියේය. ඔහුගේ වේලාසන අද දවසේ අලුත් කතාවක උදෑසනක් වී තිබේ.