Home » රණවිරුවන් සිහි කෙරෙන නොවැම්බරයේ පොපි මල

රණවිරුවන් සිහි කෙරෙන නොවැම්බරයේ පොපි මල

by sachintha
November 13, 2024 2:35 am 0 comment

1921 වන විට අසරණ වූ පවුල් සඳහා කෙරෙන සුබසාධන කටයුතු වෙනුවෙන් අර මුදල් රැස්කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස කෘත්‍රිම පොපි මල් අලෙවි කිරීමට කටයුතු යෙදිණි. ප්‍රංශයේ ඇනා ගුරියන් විසින් පොපිමල් සාදා ප්‍රථම තොගය අලෙවි කිරීමට ලන්ඩන් නුවරට එවූ අතර 1921 නොවැම්බර් 7 වෙනි දින පස්වන ජෝර්ජ් රජු විසින් ප්‍රථම පොපි මල මිලදීගෙන පොපි මල් ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

නොවැම්බර් මාසය ළංවෙත්ම ලොව බොහෝදෙනා තම ඇඳුමෙහි පලඳින කෘත්‍රිම මලක් වේ. එය පොපි (poppy) මලයි. රුධිර වර්ණයෙන් යුතු පොපි මල් පලඳනාව බ්‍රිතාන්‍ය මහ රජ්ජුරුවන්ගේ පටන් සෑම තරාතිරමක අයවලුන්ද විශ්‍රාමලත් හමුදා සාමාජිකයන්ද පලඳින්නේ මියගිය යුද සෙබළුන් සිහිපත් කිරීම පිණිසය. ලෝක මහා යුද්ධවලද, වෙනත් සන්නද්ධ අරගලවලදී ද මරණයට පත්වූ සොල්දාදුවන් සිහිපත් කර කෙරෙන ගෞරවාචාර පුද සත්කාරය පිළිබඳ ඉතිහාසගත තොරතුරු ඉතා සංවේදීශීලිය.

1917 ආරම්භ වුණු පළමුවන ලෝක මහා යුද්ධයේදී බ්‍රිතාන්‍ය කැනඩාව අ‍ෙමරිකාව වැනි මිත්‍ර රටවල යුද බළඇණි කඳවුරු බැඳ සිටියේ බෙල්ජියමේ බටහිර පෙදෙසේ ෆ්ලාන්ඩර්ස් මිටියාවතේය.

1915 මාර්තු 3 වැනි දින අනපේක්ෂිත ලෙස මහා යුද ප්‍රහාරයකට ලක් වූ මෙම මිත්‍ර ජාති බළඇණිවල සාමාජිකයන් 65,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර එම පෙදෙසේ සියලු ගොඩනැඟිලි මාර්ග පාලම් සහ තාවකාලික කඳවුරු මුළුමනින්ම විනාශ වී ෆ්ලාන්ඩස් මිටියාවත මඩ ගොහොරුවක් බවට පත්විය. මෙහිදී දිවි බේරාගත් කැනඩාවේ තුන්වන වෛද්‍ය බළකායේ වෛද්‍ය ලුතිනල් කර්නල්

ජෝන් මැක්රේ ඇතුළු පිරිස වෙනත් ස්ථානයකට පසුබැසීමට පෙර තම සගයින් සදහටම වැළලුණු මිටියාවතට ගොස් නිහඬව යාඥා කරමින් අනුස්මරණය කළෝය. මියගිය සෙබළුන්ගේ සිරුරු වැළලුණු පෙදෙස් පස් හා මඩ ගොහොරු මතින් පිපී එන රතු පැහැති පොපි මල් ගැන කාගේත් අවධානය යොමු විය. කවියටද, සාහිත්‍යයට ද ඇලුම් කළ (වෛද්‍ය) ලුතිනන් කර්නල් මැක්රේ මෙම පොපි මල්ද උපමා කර ගනිමින් කාව්‍ය සංකල්පනාවක් තම දින පොතෙහි සටහන් කර ගත්තේය. එම වසරේ දෙසැම්බර් 8 වෙනි දින නිකුත් වූ punch සඟරාවට මෙම කාව්‍ය සංකල්පනාව වන In Flanders Field පළකර ගැනීමට මැක්රේ සමත් වූ අතර එම කවි පන්තිය යුද පෙරමුණේ සිටින සෙබළ සමූහයා අතරද බෙහෙවින් ජනප්‍රිය විය.

1917 අගභාගයේ දී යුද්ධය හමාර කිරීම සඳහා වූ කටයුතු සිදු වීමෙන් පවතින අතරතුර අ‍ෙමරිකාවේ යුද අනාතයන් පිළිබඳව කටයුතු කරන කාර්යාලයක සේවය කළ ඇමරිකානු ජාතික කාන්තාවක් වූ මොයිරා මිචෙල්ගේ අවධානයට ලක් වූ ඉහත කවි පන්තියට ඇය පිළිතුරු වශයෙන් We shell keep the faith යනුවෙන් කවි පෙළක් ලියා යුද්ධය නිසා අනාථවූවන් අතරේ බෙදා හැරියාය.

එපමණක් ද නොව කෘත්‍රිම ලෙස සාදාගන්නා ලද පොපි මලක් තම ඇඳුමේ පැලඳ ගැනීමටත් ඇය පුරුදු වූවාය.

1917 නොවැම්බර් මස 11 වෙනි දින පෙරවරු 11 යුද්ධයේ නිමා කරලීමේ ගිවිසුමට අත්සන් තබන මොහොතේ තම කාර්යාලයට පැමිණි පිරිසට පොපි මලක් බැගින් බෙදා දී මියගිය යුද සෙබළුන් සිහිපත් කිරීමට මොයිරා ප්‍රමුඛ වූ බව සඳහන් වේ. මෙම කාර්යාලයට ප්‍රංශයේ සිට පැමිණ සිටි ප්‍රංශ ජාතික කාන්තාවක් වූ ඇනා ගුරියන් පොපිමල් අලෙවිකොට එමඟින් ලබන ආදායම මියගිය සෙබළුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා යෙදවිය යුතු යැයි යෝජනා කළාය.

යුද්ධය නිමා වී වසරකට පසු එනම් 1919 නොවැම්බර් 11 වන දින බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජුගේ ප්‍රධානත්වයෙන් පළමුවරට මියගිය සෙබළුන් සිහිපත්කිරීමේ දේව මෙහෙයක් පැවැත්වූ අතර ඉදිරි වර්ෂවලදී මෙම දේව මෙහෙයන් සෑම නොවැම්බර් මසකම දෙවෙනි ඉරිදාට පැවැත්වීමට රජු නියම කළේය. එයට හේතුව නොවැම්බර් 11ට ආසන්නතම ඉරිදාවක් යොදා ගැනීමේ පහසුවතකාය.

1921 වන විට අසරණ වූ පවුල් සඳහා කෙරෙන සුබසාධන කටයුතු වෙනුවෙන් අර මුදල් රැස්කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස කෘත්‍රිම පොපි මල් අලෙවි කිරීමට කටයුතු යෙදිණි. ප්‍රංශයේ ඇනා ගුරියන් විසින් පොපිමල් සාදා ප්‍රථම තොගය අලෙවි කිරීමට ලන්ඩන් නුවරට එවූ අතර 1921 නොවැම්බර් 7 වෙනි දින පස්වන ජෝර්ජ් රජු විසින් ප්‍රථම පොපි මල මිලදීගෙන පොපි මල් ව්‍යාපාරය ආරම්භ කරන ලදි.

එදා මෙදා තුර ලොව සියලුම රටවල නොවැම්බර් මාසය එළඹෙත්ම පොපිමල් අලෙවිය ආරම්භ කොට එමඟින් ලැබෙන ආදායම මියගිය සොල්දාදුවන්ගේ පවුල්වල සුබසාධනයට යොදා ගැන ඊට සමගාමීව ඔවුන් සිහිපත් කිරීමද සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන යුද ස්මාරකය පිහිටා ඇත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ මහජන පුස්තකාලයට යාබදවය. පොපි මල් අලෙවිය ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය මඟින් සිදු කෙරෙන අතර අනුස්මරණ පෙළපාළිය ශ්‍රී ලංකා යුද, නාවික හා ගුවන් හමුදාවල මෙහෙයවීමෙන් සිදු කෙරේ.

මේ සඳහා රාජ්‍ය නායකයාද නිරන්තරයෙන් සහභාගි වේ.

පොපි මල් ව්‍යාපාරයට එරෙහිව සිදු කෙරෙන ව්‍යාපාරයක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේදී පමණි. එය සූරියමල් ව්‍යාපාරය නමින් ප්‍රසිද්ධ විය.

1935 වකවානුවේ අධිරාජ්‍ය විරෝධී සටන්වල නියැළී සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින්, ආර් ද සිල්වා දොස්තර එස්.ඒ වික්‍රමසිංහ ආදී වාමාංශික නායකයෝ සූරියමල් ව්‍යාපාරයට නායකත්වය දුන්හ. ඔවුන්ගේ අදහස වූයේ අධිරාජ්‍ය ව්‍යාප්ත කරලීමේ යුද්ධවලින් මියගිය සෙබළුන් වෙනුවෙන් උපකාර කරනවාට වඩා තම රටේ මැලේරියා උවදුරින් මියයන අයගේ

පවුල්වල සුබසාධනය සඳහා ශ්‍රී ලාංකිකයින් දායක විය යුතු බවයි. ඒ සඳහා සූරියමල් සාදා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ඔවුන් ආරම්භ කළ අතර ඒ නිසාම එම වාමාංශික නායකයින්ට හිරබත් කෑමට සිදුවිය.

අද පොපිමල් දිනයේ ලෝකය පුරා රටවල මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සිදුවේ. යුද්ධවලින් තොර ලෝකයක් කිසි දින වෙතැයි සිතිය නොහැකි වන අතර යුද්ධයක් ඇති වුවහොත් ඊට සිය ජීවිතය පුද දෙමින් දේශයන් ආරක්ෂා කරන්නේ යුද භටයාය. යුද නැති සමයේ වුවද නිරන්තරයෙන් එම සෙබළා කළ මෙහෙය අප සිතෙහි රඳවා තබාගත යුතුය. අප රටේද මෑතක නිමවූ දීර්ඝ ත්‍රස්තවාදී යුද්ධයේදී දිවි පිදූ ඒ අභීත රණවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ පවුල්වල සුබසාධනය

සැලසීම අප කාගේත් යුතුකමකි.

මෙම පොපි මල් දිනයට පාදක වූ ඉංග්‍රීසි කවියේ මුඛ්‍ය අර්ථයේ සාරාංශය මෙසේය.

“පොපි මල් පිපුණද දිවි පිදුවන්ගේ අරමුණ උදෙසා අප නොනිදා සිටිය යුතු වන්නෙමු”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරි මේජර් වී.බී. කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT