(ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයකු වූ එෆ්.ජී. ෆියර්ස් මහතා ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලය මෙන්ම මාතර රාහුල විද්‍යාලය ආරම්භ කිරීමට පදනම දැමූ යුග පුරුෂයාය. ඉංග්‍රීසි අධ්‍යාපනඥයකු වූ ඒ මහතා ඉන්දියාවේ ද ජනප්‍රිය පාසල් කිහිපයක සමාරම්භකයෙකි. එෆ්.ජී. ෆියර්ස් මහතාගේ මතකය අවදි කරමින් මේ මස 19 වැනිදා මෙරටට පැමිණෙන ඒ මහතාගේ පුත් වික්‍රම් ෆියර්ස් මහතා එෆ්.ජී. ෆියර්ස් භාරයේ වත්මන් සභාපතිවරයාය. එෆ්.ජී. ෆියර්ස් මහතාගේ මතකය අලුත් කරමින් ලබන 20 වැනිදා පටන් දින තුනක් වික්‍රම් ෆියර්ස් මහතා ගාල්ල සංඝමිත්තා, මාතර රාහුල සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ මතක මංපෙත් අතර ඇවිද යයි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි).
ෆෙඩ්රික් ගෝර්ඩන් ෆියර්ස් (Frederick Gordon Pearce) නම බොහෝ තැන්වල ලියැවී ඇත්තේ එෆ්.ජී. ෆියර්ස් නමිනි. විශිෂ්ට ඉංග්‍රීසි අධ්‍යාපනඥයකු වූ එෆ්.ජී. ෆියර්ස් මහතා එංගලන්තයේ දී උපත ලැබුවේ 1892 මාර්තු 24 දාය. දින වකවානු අනුව ගත්විට ඔහු උපන්නේ ගාල්ලේ මහින්දය ආරම්භ වී දින 24ක් ගතවන දිනය.
කුඩා කල සිට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයකු වූ එෆ්.ජී. ෆියර්ස් ලන්ඩන් විශ්විද්‍යාලයේ බී.ඒ. ගෞරව උපාධිධාරියෙකි. එකල ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බාලදක්ෂ නිලධාරියෙකි.
උසස් අධ්‍යාපනයේ කෙළ පැමිණෙනවිට හෙතෙම පරමවිඥානාර්ථ වාදියෙකි. පරමවිඥානාර්ථ සමාගමේ අදහස් හා ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදී සිටි තරුණ එෆ්.ජී. ෆියර්ස් බෞද්ධ දර්ශනයට ද තදින් ඇලුම් කළේය. මේ නිසාම පෙරදිගට පැමිණීමේ සිත් පහළ කරගෙන සිටි එෆ්.ජී. ෆියර්ස්ට කදිම ආරාධනාවක් ලැබිණි. ඒ ගාල්ල මහින්ද විද්‍යාලයේ උප විද්‍යාලාධිපති ධුරය භාරගන්නා ලෙසයි.
එවකට මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධුරය හෙබවූයේ තවත් විශිෂ්ට ඉංග්‍රීසි අධ්‍යාපනඥයකු වූ එෆ්.එල්. වුඩ්වඩ් මහතාය.1903 සිට 1919 තෙක් විදුහල්පති ධුරය හෙබවූ එෆ්.එල්. වුඩ්වඩ් මහින්දයේ පුරාවෘත්තයයි. ගාලු කොටුවේ පෙඩ්ලර් වීදියේ තිබූ මහින්දය එලියට් පාරේ (අද වුඩ්වඩ් මාවතේ) රමණීය කඳු ගැටයක් වූ දවටගහවත්තට ගෙනාවේ මිස්ටර් වුඩ්වඩ්ය. මහින්දයට ශක්තිමත් අඩිතාලමක් දැමූ හෙතෙම අද දක්වා මහින්දය සුපෝෂණය කරන වුඩ්වඩ් සම්ප්‍රදාය ගොඩනැඟුවේය.
සිය විදුහල්පති ධුර කාලයේ උප විද්‍යාලාධිපති ධුරයක් පළමුවරට හඳුන්වා දෙමින් ඒ සඳහා එෆ්.ජී. ෆියර්ස් කැඳවා ගැනීමට වුඩ්වඩ් මහතා කල්පනා කරන්නට ඇත්තේ ද මහින්දයේ පුනරුදය වෙනුවෙනි.
ඒ අනුව ලන්ඩනයේ සිට ගාල්ලට එන එෆ්.ජී. ෆියර්ස් මහතා මහින්දයේ උප විද්‍යාලාධිපති ධුරය භාර ගන්නේ 1913 ඔක්තෝම්බර් 25 වැනිදාය. එතැන් පටන් එෆ්.ජී. ෆියර්ස් වුඩ්වඩ් සම්ප්‍රදායට ගරු කරමින් මහින්දයේ දියුණුවට කැපවී කටයුතු කළේය.
ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාගේ මූලිකත්වයෙන් ලංකාවේ ආරම්භ වූ බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර දෙකක් ගතවීමට මත්තෙන් ගාල්ලට හඳුන්වාදීමට එෆ්.ජී. ෆියර්ස් මහතා වෙහෙසුණේය. මහින්දයට පැමිණ අට මාසයක් තරම් කෙටි කලක් ගතවෙමින් තිබුණ ද පළමු ගාලු බාලදක්ෂ සමූහය 1914 ජූනි මාසයේ දී මහින්දයේ දී ආරම්භ කිරීමට එෆ්.ජී. ෆියර්ස් මහතා කටයුතු කළේය.
පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය ආරම්භ කළ එෆ්.ජී. ෆියර්ස් මහතා එතැනින් නොනැවතී බාලදක්ෂ ව්‍යාපාරය දකුණේ අනෙකුත් පාසල්වලට හඳුන්වාදීමට ද පෙරමුණ ගත්තේය.
දකුණු පළාත් බාලදක්ෂ සංගමයේ ලේකම්වරයා ලෙසත් ගාලු දිසාවේ මෙන්ම දකුණු පළාතේ පළමු බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙසත් එෆ්.ජී. ෆියර්ස් මහතා අනගි මෙහෙවරක නිරත විය.
එෆ්.ජී. ෆියර්ස් මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය සහ එහි ප්‍රගතිය ගැන මහින්ද විද්‍යාලයේ විදුහල්පති එෆ්.එල්. වුඩ්වඩ් මහතා යැවූ ලිපිය හා මහින්ද සඟරාවේ වාර්තා පිටපත බැලූ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් ඒ පිළිබඳව සතුටට පත්වෙමින් ඔබගෙන් ආරාධනයක් ලැබ ලංකාවේ බාලදක්ෂ චාරිකාවක යෙදෙන්න හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමින් 1916 ඔක්තෝබර් 10 වැනිදා වුඩ්වඩ් මහතාට පිළිතුරු ලිපියක් එවා තිබුණි.
දකුණේ බෞද්ධ දැරියන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට සුදුසු පාඨශාලාවක් ආරම්භ කරන ලෙස මහින්දයේ උපවිද්‍යාලාධිපති එෆ්.ජී. ෆියර්ස් මහතා සහ ෆියර්ස් මැතිනිය මුහන්දිරම් එෆ්.ඒ. වික්‍රමසිංහ මහතාට යෝජනා කරන්නේ මේ අතරවාරයේය.
ඒ අනුව 1919 ක් වූ මාර්තු 19 වැනිදා ප්‍රකට දානපති සමාජ සේවකයකු වූ මුහන්දිරම් එෆ්.ඒ. වික්‍රමසිංහ මහතා (මහින්දයේ කළමනාකරු 1920) සිය ධන පරිත්‍යාගයෙන් ගාල්ල සංඝමිත්තාව ආරම්භ කළේය. ආරම්භයේ දී සංඝමිත්තා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ක්‍රියාත්මක වූයේ ද මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේය.
1918 ඉන්දියාව බලා ගිය එෆ්.ජී. ෆියර්ස් මහතා ආපසු මෙරටට පැමිණ 1921 පෙබරවාරි 22 වැනිදා මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධුරය භාරගත්තේය. එකල ළමයින් 446ක් ඉගෙනුම ලැබූ මහින්දයේ ගුරුවරුන් 21ක් සේවය කළහ. ළමයින් 28ක් නේවාසිකව අධ්‍යාපනය හැදෑරූහ.
ෆියර්ස් යුගයද මහින්දයේ අමරණීය යුගයකි. වුඩ්වඩ් අනුස්මරණ පුස්තකාලය, පේෂ කර්මාන්ත හා ළදරු ඒකක ආරම්භය, ගුරුවරුන් ඇගයීම, දෙවන නේවාසිකාගාරය ඇරඹීම සහ විද්‍යාලයීය පාර්ලිමේන්තුව (ශිෂ්‍ය පාර්ලිමේන්තුව) 1921 වසරේ ආරම්භ කරමින් පවත්වාගෙන යන එෆ්.ජී. ෆියර්ස් මහතා 1922 වසරට පිය නඟන විට විද්‍යාලයේ සිසුන් සංඛ්‍යාවද 650ක් දක්වා ඉහළ දැමුවේය.
මහින්දයේ පළමු නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ 1922 පෙබරවාරි මාසයේ පවත්වන ලද අතර එවකට විදුහල්පති ලෙස කටයුතු කළේ ද එෆ්.ජී. ෆියර්ස් මහතාය. 1922 මැයි මාසයේ දි වුඩ්වඩ් අනුස්මරණ සතියක් පවත්වන එෆ්.ජී. ෆියර්ස්, තවත් පන්ති කාමර නවයක ගොඩනැඟිල්ලක් අමරසූරිය පවුලේ ධන පරිත්‍යාගය ඇතිව එකල විවෘත කළේය.
විද්‍යාලාධිපති ධුරයෙන් ඒ වනවිට සමුගෙන ගොස් සිටි එෆ්.එල්. වුඩ්වඩ් (1903-1919) මහතා 1922 ජූනි 9 වැනිදා මහින්ද විද්‍යාලයට ආපසු පැමිණෙන්නේ එවකට විදුහල්පතිව සිටි එෆ්.ජී. ෆියර්ස්ගේ ආරාධනාව පරිදිය. එසේ පැමිණි එෆ්.එල්. වුඩ්වඩ් මහතා මහින්ද නේවාසිකාගාරයේ හෙන්ද්‍රික් ද සිල්වා ගොඩනැඟිල්ලට මුල්ගල තැබූ බව විද්‍යාලයීය සඟරාවක දැක්වෙයි.
ඉන්දියාව සමඟ තිබූ බැඳීමත් පරමවිඥානාර්ථ සංගමය තුළ ඔහුට තිබූ වැදගත්කමත් නිසා ප්‍රකට පරමවිඥානාර්ථවාදීන් මෙන්ම ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් රැසක් එෆ්.ජී. ෆියර්ස් විදුහල්පතිගේ කාලයේ මහින්දය ස්පර්ශ කළහ.
එලෙස 1922 වසරේ දී මහින්දයට පැමිණි ශ්‍රේෂ්ඨයන් අතර පරමවිඥානාර්ථ සංගමයේ සභාපතිනි ඇනී බෙසන්ට් මහත්මිය, ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරිනියක මෙන්ම කිවිඳියක ලෙස ප්‍රකට සරෝජනී නායිදු, නූතන ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා සේ සැලකෙන ආචාර්ය රබීන්ද්‍රනාත් තාගෝර්, ඉන්දියානු නිදහස සඳහා ක්‍රියාකාරිකයෙක් වූ චාල්ස් ෆ්රීපර් ඇන්ඩෲස්, 1921 සිට පරම විඥානාර්ථ සමාගමේ උප සභාපති වශයෙන් කටයුතු කළ සී.ජිනරාජදාස මහත්ම මහත්මීහු ඒ අතර වෙති. ගාල්ල මහින්දයේ විදුහල්පති ධුරය දරන කාලයේ එෆ්.ජී. ෆියර්ස් (1921-23) තවත් සුවිශේෂී කටයුත්තකට අත තැබුවේය. ඒ මාතර රාහුල විද්‍යාලය ආරම්භ කිරීමයි.
ඩී.ටී.ඩබ්ලිව්. රාජපක්ෂ රාලහාමි, ශ්‍රීමත් ආර්.ඒ.ඩී. ගුණවර්ධන මහා කුලතුංග සමඟ එක්ව මහින්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි එෆ්.ජී. ෆියර්ස් 1921 දී මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ.
එම සංගමය විසින් 1923 මැයි 1 වැනිදා මාතර මහ වීදියේ ආරම්භ කළ පරාක්‍රමබාහු විද්‍යාලය පසුව මාතර රාහුල විද්‍යාලය බවට පත්විය. රාහුල විද්‍යාලයේ ඉතිහාසයේ දැක්වෙන්නේ රාහුල සිසුන්ට මුල්ම පාඩම කියාදෙනු ලැබුවේ ද එෆ්.ජී. ෆියර්ස් මහතා බවයි.
ආපසු ඉන්දියාව බලා යන එෆ්.ජී. ෆියර්ස් මහතා එවර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ග්වාලියර් කොටුවේ සින්ඩියා පාසලේ ආරම්භක විදුහල්පති ධුරයට පත්වෙයි. 1929 සිට 1943 දක්වා වසර 15කට ආසන්න කාලයක් විදුහල්පති ධුරය හොබවන එෆ්.ජී. ෆියර්ස් මහතා එම විද්‍යාලය ඉන්දියානු සංස්කෘතියට ගැළපෙන ප්‍රමුඛතම පාසලක් දක්වා උසස් කිරීමට සමත්වෙයි.
මහින්දයේ දී විදුහල්පති ධුරය දරමින් ලැබූ පන්නරය ද ගෙන එෆ්.ජී. ෆියර්ස් ගොඩනැඟූ සින්ඩියා පාසල අද ඉන්දියාවේ ප්‍රමුඛතම පාසලකි. එම පාසලේ එෆ්.ජී. ෆියර්ස් ගැන දැක්වෙන කොටසේ අපූරු සැඟවුණු කතාවක් ද හෙළි කර තිබේ. එෆ්.ජී. ෆියර්ස් මහතා සේවය කළ පාසල්වලත් ඔහුගේ සමකාලීන සගයන් අතරත් එෆ්.ජී. ෆියර්ස්, මහත්තයා ලෙස ප්‍රසිද්ධව සිටි බව එහි දැක්වේ.
නැවතත් ඉන්දියාවෙන් ලංකාවට එන එෆ්.ජී. ෆියර්ස් මහතා, මෙරට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස සේවය කිරීම අරඹයි. ඒ අතර කාලයේ මාතර රාහුල විද්‍යාලය රජත ජයන්තිය සමරන අතර ඊට සමගාමීව 1949 දී එෆ්.ජී. ෆියර්ස් මහතා සහ එම මැතිනිය මාතර දිස්ත්‍රික්කයේ පළමු විද්‍යාලය වන රාහුල විද්‍යාලයේ ජුබිලි ශාලාව විවෘත කිරීමට ද පැමිණියහ. මේ නිසා ෆියර්ස් මහතා සහ රාහුල විද්‍යාලය අතර ශක්තිමත් බැඳීමක් තිබූ අතර රාහුල විද්‍යාලයේ නිර්මාතෘවරයකු වශයෙන් එහි අනාගතය වෙනුවෙන් ඔහු විශාල පරිශ්‍රමයක් දැරීය.
මේ අයුරින් මහින්ද, සංඝමිත්තා සහ රාහුල විද්‍යාල ඔස්සේ දකුණේ අධ්‍යාපනයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ එෆ්.ජී. ෆියර්ස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව අධ්‍යාපන පර්යේෂණ මණ්ඩල ආරම්භ කරමින් මෙරට අධ්‍යාපනයට සුවිශේෂි සේවයක් ඉටු කළේය.
ලොව පිළිගත් උගතුන් බුද්ධිමතුන් බිහිකළ සහ අඛණ්ඩව එම වගකීම ඉෂ්ට කරන දකුණේ සුවිශේෂී විද්‍යාල තුනක අනාගතය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ එෆ්.ජී. ෆියර්ස් නමැති ඒ විශිෂ්ට අධ්‍යාපනඥයාගේ පුත් වික්‍රම් ෆියර්ස් මහතා සිය පියාගේ මතකාවර්ජනයක නිරත වෙමින් 2024 වර්ෂයේ දී සිය පියාගේ පිය සටහන් අතර ඇවිද යයි.
එම ගමන පසුගියදා ඉන්දියාවේ සින්ඩියා පාසලෙන් ආරම්භ කළ වික්‍රම් ෆියර්ස් මහතා සංඝමිත්තා, රාහුල විද්‍යාලවලට ගොස් ලබන 22 වැනිදා එම චාරිකාව මහින්ද විද්‍යාලයෙන් අවසන් කිරීමට නියමිතය. මහින්ද, සංඝමිත්තා සහ රාහුල විද්‍යාල ත්‍රිත්වයේ වත්මන් සිසුන්ට මෙන්ම සියලු ආදි සිසුන්ට ද සමස්ත ප්‍රජාවමට මෙය සුවිශේෂී මං සලකුණක් වනවාට සැක නැත.