Home » වීඔය රබර් වත්තක නිදන් හෑරූ 9ක් අත්අඩංගුවට

වීඔය රබර් වත්තක නිදන් හෑරූ 9ක් අත්අඩංගුවට

by sachintha
November 13, 2024 2:34 am 0 comment

යටියන්තොට වීඔය ප්‍රදේශයේ පෞද්ගලික වැවිලි සමාගමකට අයත් රබර් වත්තක නිදන් හැරීමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 9 දෙනකු නිදන් හෑරීමට යොදා ගත්තේ යැයි සැකකරන උපකරණ රැසක් ද සමඟ පෙරේදා (11) අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලීසිය පැවසීය. වතු පාලකයන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කැනීම් කර තිබූ ස්ථානයට ගොස් විමර්ශන සිදු කර මෙම සැකකරුවන් හා උපකරණ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලීසිය කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වැවිලි සමාගමේ ක්ෂේත්‍ර නිලධාරීන් තිදෙනකු ද වන බව පොලීසිය සඳහන් කළේය. නිදන් හෑරීම සඳහා යොදා ගන්නට ඇතැයි සැකකරන ගල් විදීමට යොදා ගන්නා හිල්ට් මැෂින් 2ක්, ජෙනරේටරයක්, මල් බුලත් තට්ටුවක්, ජංගම දුරකතන 4ක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඊයේ (12) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී. ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් උපපොලිස් පරීක්ෂක ප්‍රියවංශ, පොලිස් සැරයන් 64536 චන්ද්‍රසේන, පොලිස් සැරයන් 24110 රත්නප්‍රිය, පොලිස් කොස්තාපල් 56443 සිල්වා, පොලිස් කොස්තාපල් රියැදුරු 76752 ජයන්ත හා යටියන්තොට පොලීසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම මෙහෙයුමට සම්බන්ධ වූහ.

යටියන්තොට විශේෂ සමන් එස්. රත්නායක

යටියන්තොට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT