Home » මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

by sachintha
November 13, 2024 12:20 am 0 comment

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක්) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තමන්ට නියම කර ඇති මාස 06ක සිරදඬුවම බලරහිත කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් රිට් පෙත්සමක් මඟින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (12) ප්‍රතික්ෂේප කළේය. මෙම අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතුවලට මැදිහත්වීමට අපේක්‍ෂා නොකරන බව අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතාගේ එකඟත්වය ඇතිව විනිසුරු සෝභිත රාජකරණා මහතා අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

එබැවින් පෙත්සම්කරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේය. කෙසේ වුවද මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය. ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මේ මස 29 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදි.

රුපියල් බිලයන 3.5කට ආසන්න වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් පෙත්සම්කරු ඇතුළු පිරිසකට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව පෙත්සමෙහි සඳහන් විය. එම නඩුවට අදාළව වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වරදකරුවන් බවට 2023 වසරේ නොවැම්බර් මස 23 වැනිදා තීරණය කරන ලදි. අනතුරුව ඉකුත් ඔක්තෝබර් මස 14 වැනිදා ඔවුන්ට මාස හයක සිරදඬුවම් නියම කළ අතර එම සිරදඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැණි වන බැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ එම නියෝගය බල රහිත කර ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT