හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහ මහතාට අයත් එකලස් කළ වාහනයක් බවට විමර්ශන කරන කළු පැහැති V8 වර්ගයේ වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව රඳවා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (12) නියෝග කළාය. එම ප්‍රශ්නගත වාහනය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන පරීක්ෂාවන්ට අදාළ වාර්තාව ලබන 18 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එම වාහනය එකලස් කළ බවට ලද තොරතුරක් මත සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් ඊට අදාළ වාර්තාව ලැබෙන තෙක් අධිකරණය භාරයට ගන්නා ලෙසත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය. එම වාහනය අධිකරණයේ ගාල් කර තැබීමට ඉඩ නැති බැවින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සුදුසු ආරක්ෂාවක් සහිතව රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එම වාහනය රුපියල් මිලියන 100කට ආසන්න වටිනාකමකින් යුක්ත වාහනයක් බවත් එහි පේන්ට් එකට දැඩි අලාභ සිදුව ඇති බවත් එම අලාභය රුපියල් ලක්ෂ 40ක් 50ක් ඉක්මවා යන බවත් සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියහ.
එම අලාභය අය කර ගැනීමට කිසිවකුත් නැහැ. ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.
“මෙම වාහනය කිසිසේත් එකලස් කර නැහැ. සියයට සීයක් ස්ථිරයි. මෙම වාහනය තම සේවාදායකයා වෙත මුදාහරින්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සහිතව එය ඔහුගේ නිවෙසේ රඳවා තබන්න” යැයි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබෙන තෙක් වාහනය මුදාහැරීමට විරුද්ධ බවය.
සුජීව සේනසිංහ මහතා විසින් ප්‍රශ්නගත වාහනය අධිකරණයට රැගෙන විත් තිබූ අතර, එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබීය.
සුභාෂිණී සේනානායක