Home » මහමැතිවරණයේ ආරක්ෂාවට නිලධාරීහු 90,000ක්

මහමැතිවරණයේ ආරක්ෂාවට නිලධාරීහු 90,000ක්

by sachintha
November 13, 2024 12:02 am 0 comment

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් 90,000ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය. පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ආදිය නියෝජනය වන පරිදි මෙම පිරිස යොදවා ඇතැයි ද ඔහු පැවසීය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙවර මහමැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 64,000ක් ඍජුව යොදවා ඇති අතර, තවත් පොලිස් නිලධාරින් 6000ක් පමණ පොරොත්තු සේවා සඳහා යොදවා ඇති අතර විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 3200ක් පමණ යොදවා ඇති බව ද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. අවශ්‍ය අවස්ථාවලදී කැඳවීම වෙනුවෙන් හා මර්මස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 11,000ක් යොදවා ඇති බව ද ඒ මහතා අනාවරණය කළේය.

එමෙන්ම මැතිවරණය පවත්වන හෙට දිනයේදී පොලිස් ජංගම සංචාර ද සිදුකරන අතර සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 12,227ක් මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ වන බව ද ඒ මහතා පැවසීය.

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කරමින් නිහාල් තල්දූව මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළේය.

මැතිවරණ දිනයේදී නිසි අවසර ලබා නොගෙන ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම වරදක් බවත් එවැනි ක්‍රියා සංවිධානය කරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන හෝ ඡන්ද පොළ රාජකාරි කටයුතුවලට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව ද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“මහමැතිවරණයක් අවස්ථාවකදී දිවයිනේ විවිධ ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙනවා. නමුත් මෙවර මහමැතිවරණයට අදාළව පසුගිය කාලය තුළ එවන් තත්ත්වයක් නිරීක්ෂණය වුණේ නැහැ. පසුගිය කාලය තුළම අපට මැතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 496යි ලැබී තිබෙන්නේ. එයින් අපරාධමය පැමිණිලි 66යි තිබෙන්නේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 430ක් තිබෙනවා.

පුද්ගලයන් 478ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියලු දේශපාලන පක්ෂවලට අදාළව එම පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපේක්ෂකයන් 14 දෙනකු හා ආධාරකරුවන් 464ක් ඒ අතර සිටිනවා. එමෙන්ම වාහන 116ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සියලු වාහන පෞද්ගලික වාහන. පසුගිය කාල සීමාව තුළ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව හා සිදුවීම් අනුව මෙම මැතිවරණය ගත්තම සාමකාමී මැතිවරණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.

ඉදිරි දින කිහිපයේ නිහඬ කාලය තුළ මැතිවරණය පවත්වන දිනයේදීත් මැතිවරණය අවසන් වීමෙන් පසුව පශ්චාත් මැතිවරණ කාල සීමාවේදීත් ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මැතිවරණය අවසන් වී සතියක් ගතවනතුරු පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ ආරක්ෂාව වෙනුවෙන් සියලු උපදෙස් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට දී තිබෙනවා.

මුළු ඡන්ද කොට්ඨාස 13,314ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණ කටයුතු වෙනුවෙන් ඍජුව ගත්තොත් පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. වක්‍රව ගත්තොත් 70,000ක විතර එකතුවක්. අර 64,000ට අමතරව තවත් 6000ක් පමණ අපි පොරොත්තු සේවයේ යොදවා තිබෙනවා. මීට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සූදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනකු මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් එක්ක 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වෙනවා.

ස්වර්ණා විජේකෝන්, සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT