Sunday, May 11, 2025
Home » විල්පත්තුවේ ඉස්සන් වගාව අතුරු තහනම් නියෝගය දික් කරයි

විල්පත්තුවේ ඉස්සන් වගාව අතුරු තහනම් නියෝගය දික් කරයි

by sachintha
November 13, 2024 12:25 am 0 comment

ඉස්සන් ගොවිපොළක් ඇති කිරීම සඳහා විල්පත්තු ප්‍රදේශය ආශ්‍රිතව වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 168ක් නිදහස් කරමින් ඉකුත් රජය සමයේ වනජීවී අමාත්‍යාංශය මඟින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූලි මස 29 වැනිදා දක්වා බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නියෝග කළේය. එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදි.

නීතිපතිවරයා වෙනුවෙන් එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික් මහතා සඳහන් කළේ මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නව රජය තීරණය කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දැනුම් දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ පෙත්සම ජූලි මස 29 වැනිදා කැඳවීමට නියම කෙරිණි. වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු වනජීවී ඇමැතිවරිය ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

විල්පත්තුවේ වෙඩිතලතිව් ජාතික රක්ෂිතයෙන් හෙක්ටයාර 168ක ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනයක් ඉකුත් වසරේ මැයි 6 වැනිදා වනජීවී ඇමැතිවරිය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි.

එම ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපෘතිය නිසා එම රක්ෂිතයේ වන විනාශයක් මෙන්ම පරිසර පද්ධතියට හානි වන බවට පෙත්සම්කාර සංවිධාන මඟින් පැමිණිලි කර තිබිණි.

එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙස ද අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වන ලෙස පෙත්සම්කාර සංවිධාන සිය පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT