පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් යොදා ඇති සාමාන්‍ය බස් රථ සේවා ඇණියට අමතරව කොළඹ, කළුතර, ගම්පහ ප්‍රාදේශීය කාර්යාල වෙතින් අමතර බස් ඇණි යොදවා ඇතැයි ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවැසීය.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා බස් රථ 1017ක් සහ නිලධාරීන් ප්‍රවාහනය සඳහා බස් රථ 290ක් යොදවා ඇතැයි හෙතෙම කියා සිටියේය.
පිටකොටුවේ සිට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාලවලට අවශ්‍ය පරිදි බස් රථ ලබා දෙන ලෙස සියලු ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව අමතර බස් රථ 70ක් 80ක් සූදානම් බවත් කියා සිටි ඒ මහතා ඊට අදාළව කටයුතු කිරීමට කොළඹ, ගම්පහ සහ කළුතර ඩිපෝ කළමනාකරුවන්ට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට පැමිණ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙසට ද උපදෙස් දී ඇතැයි හෙතෙම කීවේය.
දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා පැවැසීය.
අවශ්‍ය පරිදි දුර ගමන් සේවා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව කියා සිටි අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මගී ජනතාව ප්‍රවාහනයට අවශ්‍ය තරම් බස් රථ යොදවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවැසීය.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිනමිණට’ පැවැසීය.
සුභාෂිණී සේනානායක