ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානයකට එරෙහිව රුපියල් බිලියන 100ක වන්දියක් ඉල්ලා ලංකාවේ ප්‍රමුඛ පෙළේ සබන් නිෂ්පාදන ආයතනයක් විසින් එන්තරවාසි නිකුත් කර තිබේ. අදාළ ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානය විසින් පසුගිය දිනවල ප්‍රසිද්ධ සබන් ආයතනයක නිෂ්පාදන සම්බන්ධයෙන් දිගින් දිගටම අසත්‍ය තොරතුරු සමාජගත කොට ඇත.
එන්තරවාසියෙහි සඳහන් ආකාරයට මහනුවර, ශ්‍රී සරණංකර මාවත, අංක 46, පාරිභෝගික ආරක්ෂක සංවිධානය යන ලිපිනය භාවිත කරමින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ සබන් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු රැසක් වට්ස්ඇප් හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති අතර, දිවයින පුරා පිහිටි පාසල්, පෙරපාසල්, පුද්ගලික පන්ති, ත්‍රිවිධ හමුදා කඳවුරු, පොලිස් ස්ථාන, රාජ්‍ය ආයතන හා කාර්යාල වෙත සාවද්‍ය හා ද්වේෂසහගත තොරතුරු ඇතුළත් ලිපි මඟින් බෙදාහැර ඇත. එයින් අගතියට පත් ප්‍රමුඛ පෙළේ සබන් නිෂ්පාදන ආයතනය විසින් මේ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසියට හා පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි කොට ඇති අතර, ඔවුන් සිදු කළ පරීක්ෂණවලදී පාරිභෝගික ආරක්ෂක සංවිධානය නමින් පෙනී සිටින්නේ ව්‍යාජ සංවිධානයක් බවට කරුණු හෙළි වී තිබේ. ඒ අනුව දේශීය ආයතන බිඳවැට්ටවීමේ අරමුණින් මෙලෙස අතිශය ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් තම ආයතනයේ කීර්තිනාමයට කැලලක් සිදු කිරීමට එරෙහිව රුපියල් බිලියන 100ක වන්දියක් ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම්, කිසිදු වැඩිදුර දැනුම්දීමකින් තොරව නඩු පැවරීමට ක්‍රියා කරන බව නීතිඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් අදාළ එන්තරවාසිය මඟින් එම ව්‍යාජ පාරිභෝගික ආරක්ෂක සංවිධානයට දැනුම් දී තිබේ.