Home » රන් සාප්පුව කොල්ලකෑ දෙදරු පියා දිවි ඇති තෙක් හිරේ

රන් සාප්පුව කොල්ලකෑ දෙදරු පියා දිවි ඇති තෙක් හිරේ

by sachintha
November 13, 2024 12:15 am 0 comment

 

ගිනිඅවි පෙන්වා බිය වද්දා පිටකෝට්ටේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ සාප්පුවක් ‍කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණය ඊයේ (12) ජීවිතාන්ත සිරදඬුවමක් නියම කළේය. කොල්ලකරුවන් සමඟ පොර බැදීමේදී ඔවුන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ ස්වර්ණාභරණ වෙළෙඳසලේ සේවකයකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය නියම කළේය.

එම වන්දිය නොගෙවන්නේ නම් මාසයක සිරදඬුවමක් පැනවිණ. මෙම දඬුවම්වලට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස ද එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිරදඬුවමක් නියම විය.

දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැමිණිල්ල විසින් විත්තියට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව කියා සිටියේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ මෙයට වසර 20කට පෙර පිටකෝට්ටේ මනෝමා ජුවලර්ස් නමැති ස්වර්ණාභරණ සාප්පුව කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ උඩකංකානමගේ ධනසිරි නමැත්තකුටය. විත්තිකරුට අමතරව තවත් දෙදෙනකු කොල්ලයට සහභාගිව ඇත. පාතාල කල්ලි අතර ගැටුමකින් ඔවුන් මරුමුවට පත්ව ඇති නිසා විත්තිකරුට එරෙහිව පමණක් නඩුව විභාග විය.

2004 වසරේ ජූලි 07 වැනිදා පිටකෝට්ටේදී සුබ්‍රමනියම් රවින්ද්‍ර යන අය සන්තකයේ තිබූ රුපියල් 40,000ක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකෑම සහ එහිදී නඩරාජා ශිවරාජ් නමැත්තාට වෙඩි තබා තුවාල සිදු කිරීම, මරණයට තැත් කිරීම, බලපත්‍රයක් නැතිව තුවක්කුවක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ නඩු පවරන ලදි. විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 6ක් ඉදිරිපත් වූ අතර එයින් චෝදනා 5කට වරදකරු විය. කොල්ලයට තැනැත්තන් තිදෙනකු සහභාගිව ඇත. සිද්ධිය වූ දින පස්වරු 2.00ට පමණ මුලින් අයකු පංචායුධයක් මිල දී ගැනීමට බව පවසා වෙළෙඳසලට ඇතුළුව තිබේ. ඔහු ඒවායේ මිල ගණන් විමසීම කරන අතර විත්තිකරු හා අනෙක් තැනැත්තා ගිනිඅවි පෙන්වමින් සාප්පුවට ඇතුළුව ඇත. ඒ අතර වෙළෙඳසලේ රැඳී සිටි අනෙක් තැනැත්තා සඟවාගෙන සිටි පොහොර උරයකට රත්තරන් බඩු දමාගෙන තිබේ.

කොල්ලය සිදුවන අවස්ථාවේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ සේවකයා එක්වරම කොල්ලකරු සමඟ පොරබදා ඇත. එවිට අනෙක් සේවකයා යකඩ පොල්ලක් රැගෙන ගිනි අවි රැගත් දෙදෙනාට පහර දීමට සූදානම්ව ඇත.

අනපේක්ෂිත සිදුවීමෙන් කලබලයට පත්ව කොල්ලකරුවන් අතට හසුවන දෙයක් රැගෙන පලායෑමට තැත්කර ඇත.

යම් කලබලයක් වෙළෙඳසල අසල සිදුවන බව ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් මිරිහාන පොලීසියේ ජංගම රථයේ සිටි පොලිස් නිලධාරීන් දැක තිබේ. ඔවුන් සියලු කොල්ලකරුවන් එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී පොලිස් නිලධාරීන් විත්තිකරුවන් හඳුනා ගන්නා ලදි. නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිවලින් හා රස පරීක්ෂක වාර්තාවලින් චෝදනා සනාථ විය. මිරිහාන පොලීසියේ කොස්තාපල් කේ.ඩී.ජී. උදයංග (92904) ලේඛන ඉදිරිපත් කරන ලදි.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT