Home » දරුවන්ට නැතිව කැලෑවට ගිය බටගොල්ල ළමා උද්‍යානය

දරුවන්ට නැතිව කැලෑවට ගිය බටගොල්ල ළමා උද්‍යානය

by sachintha
November 13, 2024 2:35 am 0 comment

බදුල්ල – මහියංගණ මාර්ගය යාබදව පිහිටි මීගහකිවුල, බලගොල්ල ළමා මිතුරු උද්‍යාන භූමිය හා එහි ඇති සෙල්ලම් උපකරණ කැලෑවට යටවී දිරාපත් වෙමින් තිබෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහය ඇතිව වසර කිහිපයකට පෙර මෙය ඉදිකර ඇත්තේ රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය කරමිනි. උද්‍යානයේ ඉදිකිරීම් අවසානයේ මෙය ප්‍රදේශවාසීන් වෙත භාර දී ඇතත් එය පරිහරණය කරන දරුවන්ගේ මවුපියන් හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් මෙම ළමා උද්‍යානය නිසි නඩත්තුවකට ලක් නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවද ජනතාව පවසති.

මෙය ඉදිකළ සමයේ ප්‍රදේශයේ දරු දැරියෝ විශාල පිරිසක් දෛනිකව පැමිණ මෙහි විනෝද වූ අතර, උද්‍යානය කැලෑවට යට වීම නිසා මේ වන විට එම දරුවන්ට ක්‍රීඩා කිරීමට ස්ථානයක් නොමැතිව ඔවුහු දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති. මේ වන විට එය ගන කැලෑවකින් යටවී ඇති අතර, එහි ඇති ඔන්චිල්ලා සීසෝ ආදී උපකරණ බොහොමයක් කැඩී බිඳී විනාශයට පත්ව තිබේ. අවට ප්‍රදේශය ද ගන කැලෑවකින් යටවී ඇත. ආරක්ෂිත වැට සහ ගේට්ටු ද අබලන්ව තිබේ. මෙම ළමා උයන වැසී ඇති කැලෑව කපා ඉවත් කර පොළොවට සිමෙන්ති ටිකක් අතුරා දෙන්නේ නම්, මෙය කැලෑවට යටවීම වැළැක්විය හැකි බවත් එය ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් මෙන්ම ඒ ආසන්න පිහිටි මයුර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් වෙනුවෙන් කරන විශාල සේවයක් බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් හෝ මෙම උද්‍යානය යළිත් සුද්ද පවිත්‍ර කර පිළිසකර කර දෙන්නැයි බලගොල්ල හා ඒ අවට ගම්මානවල ජනතාව ඉල්ලීමක් කරති.

මීගහකිවුල සමූහ – එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT