Saturday, May 3, 2025
Home » අතුරුගිරියේ බාර් ළඟ නැවැත්වූ යතුරුපැදි ඉස්සූ ඩබලක් කොටු

අතුරුගිරියේ බාර් ළඟ නැවැත්වූ යතුරුපැදි ඉස්සූ ඩබලක් කොටු

එක් අයෙක් වරෙන්තු 24ක් ඇති සැකකරුවෙක්

by sachintha
November 13, 2024 2:19 am 0 comment

 

මත්පැන්හල් අසල නවතා තිබූ යතුරුපැදි සොරකමේ යෙදුණු වරෙන්තු 23ක් සහිත සැකකරුවකු ඇතුළු දෙදෙනකු සොරාගත් යතුරුපැදි හයක් සමඟින් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පැවැසීය.

පොලීසිය කියා සිටියේ, අතුරුගිරිය නගරයේ පවත්වාගෙන යන මත්පැන්හලක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඇසුරින් සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වූ බවයි. එම සැකකරුවන් පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටි අතරතුර ඉහළ වටිනාකමක් ඇති යතුරුපැදියක් අඩු මිලකට විකිණීම සඳහා පුද්ගලයන් දෙදෙනකු සිටින බවට අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරධ ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත පොලිස් නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදවා අදාළ යතුරුපැදිය මිලදී ගැනීමට ගොස් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසු විකිණීමට ගෙනැවිත් තිබූ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන සැකකරුවන් පරීක්ෂා කිරීමේදී එක් සැකකරුවකු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 250ක් හමු වූ බවද පොලීසිය පැවැසීය. පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මේ අයුරින් අවන්හල් අසල නවතා තිබියදී සොරකම් කළ තවත් යතුරුපැදි හතරක් පිළිබඳව ද අනාවරණය කර ගැනීමට හැකි විය. ඒ අනුව මීගොඩ, තලංගම, නවගමුව සහ බියගම පොලිස් වසම්වලදී එලෙස සොරාගෙන අඩු මිලට විකුණා තිබූ යතුරුපැදි කිහිපයක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල්තර, රණාල, නවකන්ද පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි කම්කරු රැකියාවේ නිරතව සිටි විවිධ අධිකරණවලින් වරෙන්තු 23ක් ලබා සිටි තරුණයකු සහ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි රියැදුරෙකි. මෙම සැකකරුගේ යතුරුපැදියෙහි නැගී ඔවුන් සොරකම් සඳහා ගොස් ඇති බවද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT