Home » ‘රන් සැතපුම’ කසළවලින් පිරීමෙන් සංචාරකයන්ට පිරිසිදු වෙරළක් අහිමි වෙයි

‘රන් සැතපුම’ කසළවලින් පිරීමෙන් සංචාරකයන්ට පිරිසිදු වෙරළක් අහිමි වෙයි

by sachintha
November 13, 2024 2:20 am 0 comment

වෙරළ තීරය කැළි කසළවලින් අපරිසිදු වී තිබෙන අයුරු

අලුත්ගම, බේරුවල සංචාරක කලාපයේ මොරගල්ල කළුවාමෝදර අතර ‘රන් සැතපුම’ නමින් හැඳින්වෙන වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල ගොඩ ගැසී තිබෙන කැළි කසළ ඉවත් කරන තෙක් පිරිසිදු වෙරළක් දෙස් විදෙස් සංචාරකයන්ට අහිමි වී ඇති බව සංචාරක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු පිරිස් පවසති.

මෙම වෙරළ තීරයට සමීපව දැවැන්ත සංචාරක හෝටල් ව්‍යාපෘති දෙකක ඉදි කිරීම් හිටිහැටියේ නතර වීමත් සමඟ, මේ වන විට එම භූමි භාගය විෂඝෝර සර්පයන් හැදී වැදෙන කැළෑවක් බවට පත් වී එම ප්‍රදේශය කැළි කසළවලින් ගහන වී පවතී. කලක් සුන්දරත්වයට පත්ව තිබූ මෙම වෙරළ තීරය කඩිනමින් පිරිසිදු කර එහි සුන්දරත්වය දෙස් විදෙස් සංචාරකයන්ට හිමි කර දීම බලධාරීන්ගේ යුතුකමක් වනු ඇතැයි සංචාරක ව්‍යාපාරයේ නියුතු පිරිස පෙන්වා දෙති.

මේ වසර අවසානයේ සංචාරක සමය ආරම්භ වීමත් සමඟම මෙම ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටල් වෙත යුරෝපීය සංචාරකයන් බහුලව පැමිණෙන අතර, එම සංචාරකයන් එහා මෙහා ගමන් කරන රන් සැතපුම වෙරළ තීරයේ සුන්දරත්වය මෙරටට ඩොලර් රැගෙන එන එම විදෙස් ජනතාවට අත් කර දීම බලධාරීන්ගේ යුතුකමක් බව පරිසරයට ආදරේ කරන බොහෝදෙනෙක් පවසති. විටින් විට ඇද හැළෙන මහ වර්ෂාවලින් බෙන්තොට හා ආසන්න ගංගා මෝය හරහා මුහුදු රළ සමඟ ගොඩට ගසාගෙන එන කැළි කසළ සහ අපවිත්‍ර වන වෙරළ තීරයට එක් වන කැළි කසළ ඉවත් කිරීම ද ක්‍රමවත්ව නොකරන බවට ජනතාව චෝදනා කරති. බේරුවල ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මහතාගෙන් මේ තත්ත්වය පිළිබඳ විමසූ විට පැවසුවේ, බේරුවල බල ප්‍රදේශයේ මෙම වෙරළ තීරයේ සුන්දරත්වය සංචාරක ආකර්ෂණයට පිටුවහලක් වන අයුරින් පවත්වාගෙන යෑමට හැම විටම කටයුතු කරන බවයි.

බේරුවල, බෙන්තොට සංචාරක හෝටල් සංගමයේ සභාපති ඉන්දික ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී ඒ මහතා මෙසේ කීහ.

Òයුරෝපා රටවල සිට අප රටට පැමිණෙන 99.9%ක්ම සංචාරකයන් එන්නේ මේ මුහුදු තීරයේ සුන්දරත්වය විඳගන්න. ඉතින් ඒ නිසා අපේ රටේ සුන්දරත්වය, ස්වභාවධර්මය, හිරු රශ්මිය වගේ දේවල් සීත රටවල සිට එන සංචාරකයන්ට ගුණාත්මක වටිනාකමක් ගෙන දෙනවා. ඒ නිසා ඒ ඒ සංචාරක හෝටල් මඟින් තම හෝටලය ඉදිරිපිට වෙරළ තීරයන් දෛනිකව පිරිසිදු කර පවත්වාගෙන යෑමට සේවකයින් යොදවනවා.

එහෙත් මේ වන විට ක්‍රියාත්මක නොවන සංචාරක හෝටල් කිහිපයක් ඉදිරිපිට මෙම තත්ත්වය පැවතීම සුන්දරත්වයට බාධාවක්.Ó

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT