මොනරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ඉන්දුමතී පරණමාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සියඹලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට තීරණය කළ අභියාචනාධිකරණය අදාළ ස්ථාන මාරුව බල රහිත කරමින් සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කළේය.
අදාළ ස්ථාන මාරුව අභියෝගයට ලක් කරමින් ඉන්දුමතී පරණමාන මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සමකට ගාස්තුවට යටත්ව අවසර ලබා දෙමින් පෙරේදා (12) මෙම නියෝගය නිකුත් කරන ලදි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු ෂශී මහේන්ද්‍රන් මහතා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි.
පෙත්සම්කාරිය මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී එය ජාතික පාසලක් ලෙස උසස් කළ බව ද පාසල සංවර්ධනය කිරීම සඳහා ඇය විශාල කැපවීමකින් කටයුතු කළ බව ද සඳහන් විය.
පාසලේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් මත ඊට අදාළ ලියකියවිලි කිහිපයකට අත්සන් තැබීමට ඇය අකමැත්ත පළ කර ඇති බව ද සඳහන් විය.
2022 අගෝස්තු 23 වැනි දින මවුපියන් පිරිසක් සමඟ පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණි පරිපාලන නිලධාරිනියක පෙත්සම්කාරිය හමුවී ඇය සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින බවට පැමිණිලි කර ඇති බව තීන්දුවෙහි සඳහන් වේ.
අකාර්යක්ෂම පාසල් කළමනාකරණය, මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා රැසක් පෙත්සම්කාරියට එරෙහිව ඇති බව එහිදී දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන රැස්වීමක් ද කැඳවූ අතර එම රැස්වීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාරිය පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කර ඇති බවට දැනුම් දුන් බව ද එහිදී අනාවරණය වූ බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.
මෙම ස්ථාන මාරුව තමාගෙන් පළි ගැනීමට සිදු කළ ක්‍රියාවක් බව පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබූ බව එහි දැක්වේ.
ජාතික පාසලක විදුහල්පතිනියක ලෙස සේවය කළ පෙත්සම්කාරිය ඌව පළාත් අධ්‍යාපන කාර්යාලයට ස්ථාන මාරු කිරීමට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාට බලයක් නැති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බව තීන්දුවෙහි දැක්වේ.
මෙවැනි ලිපියක් නිකුත් කිරීමට ඔහුට නීත්‍යනුකූල බලයක් නැති බව ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පැහැදිලි වන බව තීන්දුවෙහි සඳහන් වේ.
ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා නීති විරෝධී කටයුත්තක් කර ඇති බවට තීන්දු කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කරන ලදි.
ඒ අනුව අදාළ ලිපිය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කෙරිණි.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මොනරාගල අධ්‍යාපන අධ්‍යක්ෂ, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.එච්.ආර්. අමරදාස ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ පී. ජයසූරිය මහතා පෙනී සිටියේය.