සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නම භාවිත කරමින්, ඊසි කෑෂ් හරහා වෛද්‍යවරුන් රවටමින් මුදල් ලබාගත් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 20,000 සිට රුපියල් ලක්ෂය දක්වා වූ විවිධ ප්රමාණයන්වලින් මෙසේ රට පුරාම රෝහල්වල සිටින වෛද්‍යවරුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනයේදී හෙළිව තිබේ.
මේ සැකකරුවන් දෙදෙනා වලස්මුල්ලේ පදිංචිකරුවන් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වලස්මුල්ලට ගොස් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනාම මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින බව පෙනී ගොස් ඇත. එක් සැකකරුවකු බන්ධනාගාරගතව සිට ඇප මත සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගරගතව සිටියදී මරණීය දණ්ඩනය නියමව සිර දඬුවම් ලබමින් සිටි පොට්ට නවුෆර් නමැති අපරාධකරුට කලකට ඉහතදී පහර දී තුවාල සිදු කර ඇත්තේද මේ සැකකරු විසින් බවට තොරතුරුද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
රෝහල්වල සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ දුරකතන අංක සොයාගන්නා මේ සැකකරුවන් එම වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුම් දෙමින් තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බව හදුන්වා දෙමින් වෛද්‍යවරුන් රැවටීමකට ලක් කරමින් මෙම වංචාව සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුරකථන ඇමතුම දෙන සැකකරු පෙනී සිටින්නේ දුර බැහැර රෝහලක් පරීක්ෂා කිරීමට යන අතෙතුර වාහනය කාර්මික දෝෂයකට ලක්ව ඒ වන විට ගරාජයකට වාහනය රැගෙන ගොස් එතැන සිටින බව කියමින් යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තමා අතේ ඇති මුදල් වාහනය අලුත්වැඩියාව කරගැනීමට ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම සැකකරුවන් මුදල් ඉල්ලා සිටින්නේ නැවත ලබාදෙන පොරොන්දුව මත යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කරදරයක වැටී සිටින බැවින් දෙවරක් නොසිතා බොහෝ වෛද්‍යවරුන් සැකකරුවන් දෙන දුරකතන අංකවලට ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් බැරකර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා තොරතුරු දැනගෙන ඇත්තේ මෙම වංචාවට හසුවූ වෛද්‍යවරුන් මගිනි. තමා එසේ වාහනයක් ආපදාවට ලක්ව ඇතැයි පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන නැති බැවින් ඔහු ඒ බව වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල පොලිස්පතිවරයා යොමු කිරීමෙන් පසුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත.
පසුගිය දිනවල ලංගම ඩිපෝවලට දුරකතන ඇමතුම් දෙමින්ද මේ ආකාරයට මුදල් වාංචා කර ඇත්තේද මේ සැකකරුවන් දෙදෙනාම බව විමර්ශනයේදී හෙළි වී තිබේ. මේ සඳහා ඔවුන් භාවිත කළ ජංගම දුරකතන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත. මේ සැකකරුවන් දෙදෙනා මෙසේ ලබාගත් මුදල් මත්කුඩු භාවිතයට වැය කර ඇති බව පෙනී ගොස් ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.