මහ මැතිවරණයට අදාළ නිහඬ කාලය තුළ මුදල් ගෙවා ප්‍රචාරය කර ඇති දැන්වීම් 1,060ක් නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පසුගිය 11 වැනිදා රාත්‍රි 12.00 සිට පෙරේදා (12) රාත්‍රී 12.00 දක්වා වූ ගත වූ පැය 24 තුළ අදාළ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය හා සම්බන්ධ මැතිවරණ පැමිණිලි 1,388 ලැබී ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේ දක්වා ඇත:
“සමාජ මාධ්‍ය ආයතන වෙත ගෙවුණු පැය 24 තුළ යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 1,388කි. සමාජ මාධ්‍ය ආයතන විසින් පැය 24 තුළ සාර්ථකව ඉවත් කරන ලද සබැඳීන් සංඛ්‍යාව 747කි. සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද සබැඳීන් සංඛ්‍යාව 32කි. අදාළ ආයතන වෙතින් පසුවිපරම් පණිවිඩ ලැබීමට නියමිත සබැඳීන් සංඛ්‍යාව 609කි.
“එමෙන්ම 2024.10.11 දින මධ්‍යාහ්න 12.00 සිට 2024.11.12 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වූ කාලය තුළ සමාජ මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද සමස්ත සබැඳීන් සංඛ්‍යාව 2,033කි. සමාජ මාධ්‍ය ආයතන විසින් සාර්ථකව ඉවත් කරන ලද සබැඳීන් සංඛ්‍යාව 1,054කි. සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද සබැඳීන් සංඛ්‍යාව 119කි. අදාළ ආයතන වෙතින් පසුවිපරම් පණිවිඩ ලැබීමට නියමිත සබැඳීන් සංඛ්‍යාව 860ක් වේ.” ඒ තොරතුරුවලට අනුව වෛරී ප්‍රකාශ 203ක්, දුස්තොරතුරු 102ක්, ජාතිය, ආගම, පෞද්ගලිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව අපහාස කිරීම් 385ක්, ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් යොදාගැනීම් 55ක්, වැරදි පුවත් 46ක්, 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් ප්‍රතිපාදනවලට පටහැණි අන්තර්ගතයන් 182ක් සහ නිහඬ කාලය තුළ මුදල් ගෙවා ප්‍රචාරය කර ඇති දැන්වීම් 1,060ක් නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ කොමිසම නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.