ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධාන කළ සමස්ත ලංකා අන්තර් පාසල් අවුරුදු 14න් පහළ බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විදුහල සමත් විය.
ගාල්ල මහින්ද විදුහලේ සහ එම විදුහලේ බේස්බෝල් සමාජයේ සත්කාරකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය සංවිධාන කළ මේ තරගාවලියට දිවයිනේ පාසල් 20ක් සහභාගිවූ අතර, අනුශූරතාව වැලිඔය සම්පත්නුවර ජාතික පාසල සතු විය. තෙවැනි ස්ථානය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි විය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ චේනිත නෙනත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස උදාර රන්මිර (වැලිඔය සම්පත්නුවර ජාතික පාසල), උසිරු නිලංග (මහනුවර කිංග්ස්වුඩ්) තරගාවලියේ දක්ෂතම පිතිකරු, තරගාවලියේ දක්ෂතම පසුපස පන්දු රකින්නා ලෙස රන්දික ඩයස් (නාලන්දා) සහ බිෂාක් කෝදාගොඩ (නාලන්දා) දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබූහ.
තරගාවලියේ ජය සංකේත ප්රදානය ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ සභාපති සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මේ අවස්ථාවට ගාල්ල මහින්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රියාල් ද සිල්ව, ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ භාණ්ඩාගාරික නුවන් ජයසිංහ මහත්වරු සමඟ ගාල්ල මහින්ද විද්‍යාලයීය බේස්බෝල් සමාජයේ නිලධාරීන් එක්ව සිටියහ.