Sunday, May 11, 2025
Home » ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා

ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා

-රජයේ ප්‍රතිපත්තිය යළි තහවුරු කරයි

by sachintha
November 19, 2024 1:45 am 0 comment

නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ලද ජයග්‍රහණයත් සමඟ ජනවරමේ සන්දර්භය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය සූදානම් බව යළි තහවුරු කළේය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති දිසානායක සහ නව රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවූ අවස්ථාවේදීය.

මෙම හමුවේදී මෙරට ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ සමතුලිතතාවක් ඇති කර ගන්නා ලෙස ජනාධිපති දිසානායක IMF වෙතින් ඉල්ලා සිටියේය. ඊට අමතරව සමාජ වියදම් කෙරෙහි අවධානය යොමු කිරීම, ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය සහ විවිධ ආබාධ සහිත අයට උපකාර කිරීමේ වැඩසටහන් සඳහා ද වැඩි බරක් තබන්නැයිද රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ද ජනපතිවරයා අරමුදල වෙත කරුණු දැක්වීමක් සිදු කළේය.

IMF වැඩසටහන පාලනය පිළිබඳ මහජන විශ්වාසය නැවත ගොඩනැ‍ඟීම මත රඳා පවතින බව ද මෙහිදී අවධාරණය වී ඇත.

IMF කණ්ඩායම සහයෝගීතාව පිළිබඳ ශුභවාදී අදහස් ප්‍රකාශ කරමින් ජනාධිපතිතුමාට සහ ඔහුගේ රජය ලද ඔවුන්ගේ තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ සුබ පැතූහ. IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැ‍ඟීම මත බව අවධාරණය කළ ජනපතිවරයා ජනවරම තහවුරු කිරීමේ තම පරිපාලනයේ වගකීම නිසියාකාරව ඉටු කරන බව සඳහන් කළේය.

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට තම රජය දක්වන කැපවීම අවධාරණය කළ ජනපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙස IMF වෙතින් ඉල්ලා සිටියේය.

තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාව සහ මන්දපෝෂණය පිටුදැකීමට සහ ආබාධ සහිත පුද්ගලයන්ට වඩා හොඳ සහයෝගයක් ලබා දීමට ප්‍රමුඛත්වය දෙමින් සමාජ වියදම් ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ජනපතිවරයා මෙහි දී සහතික විය.

පසුගිය පරිපාලනය යටතේ සමාජ වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට ජනාධිපති දිසානායක මහතාට කරුණු පෙන්වා දුන්නේය. පාලනය සහ දූෂණයට එරෙහි වීම ද සාකච්ඡාවට මූලික විය. ජනතාව ලබාදුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටනට තම පරිපාලනයේ කැපවීම ජනාධිපතිවරයා යළිත් අවධාරණය කළේය. විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ ආයතනික ව්‍යුහයන් වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති ක්‍රියාත්මක කරන බවට ජනපතිවරයා IMF කණ්ඩායමට සහතික විය.

මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කළ අතර, ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා සම්බන්ධීකරණ ප්‍රයත්නයක් සඳහා පදනම දමා තිබේ.

 

ජයසිරි මුණසිංහ, උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT