Sunday, May 11, 2025
Home » අලුත් කාලයට තාලයට විජලනය කළ දිවුල්

අලුත් කාලයට තාලයට විජලනය කළ දිවුල්

by sachintha
November 19, 2024 1:53 am 0 comment

දිවුල් යනු බාල, තරුණ, මහලු සැවොම ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන පලතුරක් කිවහොත් එය නිවැරදිය. එසේම රසවත් පලතුරක් පමණක්ම නොව එය වටිනා ඖෂධයක් ද වෙයි. දිවුල් ශාකය දේශීය වෙදකමේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ඖෂධීය ගුණාංගයන් සහිත ශාකයක් ලෙස සලකනු ලබයි. දිවුල් ඵලයෙහි මදයෙන් සාදා ගන්නා දිවුල් කිරි රසවත් මෙන්ම ගුණදායක පානයකි.

අපගේ කතානායිකාව නමින් ඉමිකා කුමාරි පරණමාන මහත්මිය යි.

මම මුලදී කතරගමට වන්දනාවේ එන අයට දිවුල් ගෙඩි පාරේ අයිනේ තියලා විකුණලා තමයි ජීවත් වුණේ. 2020 කොරෝනා වසංගත සමයේ දී වන්දනාමාන කරන පිරිස් එන එක නතර වුණා. මේ පැත්තේ දිවුල් හැදෙන කාලයට ගස් යට වැටිලා අපතේ යනවා. ඒ වගේම කොවිඩ් කාලයේ දී දිවුල් ගෙඩි වෙළෙඳාම කරන්න බැරිව දිවුල් ගෙඩි විනාශයට පත්වුණා. මෙහෙම අපතේ යන ප්‍රමාණය වැඩියි. ඒ වගේම කතරගමට වන්දනාවේ යන අයට දිවුල් ගෙඩි අරගෙන යන අතරතුර ඒවා පානයක් විදිහට හදා ගන්න අමාරුයි. ඒ කාලයේ දී දෙළුම් ව්‍යාපාරයක් කරන අසිත පින්සර මහත්තයා මාර්ගයෙන් මට ඩිහයිඩ්‍රේෂන් තාක්ෂණය ගැන දැනුම ලැබුණා.”

“පලතුරු, කොළ වර්ගවල ස්වභාවිකවම ජලය අන්තර්ගත වෙනවා. ඩිහයිඩ්‍රේෂන් හෙවත් විජලනය කිරීමේ දී සිදුවන්නේ, ජලය යන්ත්‍රානුසාරයෙන් ඉවත් කිරීමයි.”

“ඊට පස්සේ මම පොල්පලා, ඉරමුසු, රණවරා, නෙල්ලි, මුරුංගා කොළ වගේ ඖෂධ වියළලා කුඩු කරලා ක්ෂණික පානයක් විදිහට හැදුවා. ඒවා පැකට් කරලා වෙළඳ පොළට දැම්මා. හෙළ බොජුන්, ආයුර්වේද බෙහෙත් ශාලාවලටත් දැම්මා. මේ කොළ වර්ග ගොඩක් ලෙඩ රෝගවලට හොඳ ඔසුවක්.”

“ඒ කාලයේ දී තමයි විජලනය කරලා දිවුල් පානයක් හදන්න ඕනෙ කියන අදහස ආවේ. ඒ විජලන තාක්ෂණය මම දිවුල්වලටත් ආදේශ කරලා බැලුවා. ආර්ථික අපහසුතා මධ්‍යයේ කොහොමද මගේ අදහස ක්‍රියාවට නංවන්නේ කියන ප්‍රශ්නය ඇතිවුණා. මුලින්ම බ්ලෙන්ඩරයක් මාර්ගයෙන් මම එකතු කරන දිවුල් මදය වියළලා මුලින්ම බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කුඩු කරගෙන තමයි පැකට් කළේ.”

මෙසේ තම උත්සාහයෙන් නැඟිටින්න වෙර දරන විට, තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයේ මූලිකත්වයෙන් උදව් උපකාර ලැබීමට පටන් ගනියි. ඒ පිළිබඳව ඉමිකා කුමාරි මහත්මිය සඳහන් කළේ මෙලෙසිනි.

“මගේ නිෂ්පාදන ඇසුරුම් කරන්න හා ලේබල් ස්ටිකර අලවන්න පුහුණුවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයෙන් මට ලැබුණා. විශේෂයෙන් තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශයේ සේවය කරන ව්‍යවසායකත්ව නිලධාරිතුමිය වන මංජුලා මිස් හා ව්‍යවසායකත්ව නිලධාරිතුමිය වන ඉමංගි මිස් යන අයගේ උදව්වෙන් මගේ ස්වයං රැකියා කටයුතු තවත් වර්ධනය කරන්න උපදෙස් හා ආධාර ලැබුණා. ඒ වගේම ස්වයං ශක්ති බැංකුවේ රෝහිණි මිස්ගේ මූලිකත්වයෙන් ණය මුදලක් ලබා ගෙන වියළි දිවුල් මද කුඩු බවට පත්කරන මැෂිමක් ගත්තා. ඒ වගේම මගේ ගෙදරට එහා වෙනමම නිෂ්පාදන කටයුතු සඳහා කාමර කොටසකුත් හදා ගත්තා.”

ඉමිකා කුමාරි මහත්මිය තම නිෂ්පාදනයන් අලෙවි කරන්නේ නි‍ෙවස ආසන්නයේ මය. එසේම නගරයේ වෙළඳසැල් කීපයකටද ක්ෂණික දිවුල් පානය පැකට් අලෙවි කරන්නීය. එහෙත් දිවුල් පානය පැකට් සඳහා ඉල්ලුම බොහෝ ඇත්තේ, අන්තර්ජාලයෙන් ඉල්ලුම් කරන පාරිභෝගිකයන්ගෙනි.

“කොළ වර්ග පවුඩර් කරලා පැකට් විකුණන එක සහ දිවුල් පානය පැකට් යන දෙකට අමතරව මම කොණ්ඩයට ගාන ඖෂධීය තෙල් නිෂ්පාදනය කරනවා. මං වෙළඳපොළට දෙන හැම නිෂ්පාදනයක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරලා තියෙනවා. දිවුල් පානය අවුරුද්දක් වගේ කාලයක් කල් ඉකුත් නොවී තියා ගන්න පුළුවන්.”

“මං නිෂ්පාදනවලට කිසිදු රසායනික ද්‍රව්‍යයක් කෘත්‍රිම ද්‍රව්‍යයක් අන්තර්ගත කරලා නැහැ. මේ සෑම දෙයක්ම ස්වභාවික නිෂ්පාදන. කල්තබා ගන්න පුළුවන් විදිහට දිවුල්වල වතුර යන්ත්‍රානුසාරයෙන් ඉවත් කිරීමක් විතරයි වෙන්නේ.”

ඉමිකා කුමාරි නම් මේ දිරිය කාන්තාවට අභියෝග රැසකි. ඒ පිළිබඳවත් ඇය මෙසේ සඳහන් කළාය.

“සමහර කාලයන්වලදී දිවුල් නැහැ. දිවුල් වැඩිපුර තියෙන්නේ, ජූලි, අගෝස්තු වගේ කාලයන්වලදී. ඒ වගේම තමයි කොළ වර්ග හොයා ගන්න අපහසු කාලයන් තියෙනවා. මේ හේතු නිසා අමුද්‍රව්‍ය හොයා ගන්න එක යම් අභියෝගයක්. මේවා හොයාගෙන යන්නෙත් මම මයි. මගේ ස්වාමියා නැහැ. දුවලා දෙන්නා ඉගෙන ගන්න නිසා ඒ දෙන්නා පාසල් යවන එක, අමතර පංතිවලට එක්ක ගිහින් එක්ක එන එක, වගේ සියලු කටයුතු කරන්නෙත් මමයි. දුවලා දෙන්නාගේ වැඩත් කරන ගමන් ව්‍යාපාරික වැඩත් කරන නිසා කාලය කළමනාකරණය කරගන්න එකත් යම් අභියෝගයක් කමයි. ඒත් මගේ දුවලා දෙන්නවත් ආරක්ෂා කරගෙන මගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගන්න ඕනෙ.”

ජීවිතයට කුමන හෝ බාධක ආවද, එය පන්නරයක් කර ගනිමින් ඉදිරියටම පියවර තැබිය යුතුය. “මම දැන් ඉන්න තත්වයට ආවේ ගොඩක් කැපකිරීම් කරලයි.” යනුවෙන් ඉමිකා කුමාරි මහත්මිය අවසානයේ දී සඳහන් කළාය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT