පාසල් ව්‍යවසායකත්ව කව ප්‍රවර්ධන වැඩපිළිවෙළ ඉකුත් ආණ්ඩු කාලයේ ආරම්භවූ ව්‍යාපෘතියකි. එහිලා බොහෝ නවක ව්‍යවසායකයන් කලඑළි දුටුවත් මේ වන විට එය මන්දගාමී වූ හැඩකි. ඒ අනුව කාර්මික සංවර්ධන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දියත් කළ ඒ පිළිබඳ බලධාරින් නැවත හිතා බැලීමට පෙලඹීම වැදගත්ය. ඒ අනුව අද අපේ ගමන නුවරඑළියටය. එහි ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලය ප්‍රකට පාසලකි. මේ වනවිටත් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ ප්‍රගතියක් පෙන්වූ පාසලකි. එවැනි පාසල් ව්‍යවසායකත්වය අතින් තවදුරටත් ඉදිරියට ගෙන යෑම මෙරට ආර්ථික අර්බුදයටත් දිගුකාලීන පිළියමක් වනු ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.
ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාසල් ව්‍යවසායකත්ව කව වැඩපිළිවෙළට මුලින්ම තෝරා ගනු ලැබූ පාසල් 45න් එකකි. පාසල් නියමු පදක්කම්ලාභීහු ගණනාවක්ම කොළඹ නෙළුම් පොකුණේදී පැවැති එම පදක්කම් පැලඳවීමේ උත්සවයේදී පදක්කම් ලැබූහ. මුලින්ම 9 ශ්‍රේණියෙන් ඉහළ සිසු සිසුවියන් එක්කර ගෙන ඇරඹි මේ ව්‍යාපෘතියට ගැමුණුපුර සිසු සිසුවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළය. ඒ අනුව, මුලින් ඉටිපන්දම්, සිමෙන්ති පෝච්චි නිෂ්පාදනය පිළිබඳ පුහුණු පාඨමාලා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් තාක්ෂණය, අමුද්‍රව්‍ය, මාර්ගෝපදේශන ආදී සියලු පහසුකම් සමඟ එය පාසලට ගෙන යන ලදි. නුවරඑළිය ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලයටත් එය එසේමය. එයින් ඉහළ ප්‍රතිඵල ලැබිණ. තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත ඔවුන්ගේ දස්කම් එතෙකින් නිම නොවේ. මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන ප්‍රදර්ශන, අලෙවිපොළ, තරග ආදියේදී දස්කම් පෙන්වූහ. ත්‍යාග, සහතිකපත් ලදහ. අයිස්ක්‍රීම් ආදී ආකර්ෂණීය නිෂ්පාදන රැසක් ඒ අතර විය. එම ආදායම් පාසලේ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කටයුතු ප්‍රවර්ධනයට මෙන්ම එම නිෂ්පාදකයන් අතර බෙදා දෙන ලදි. සමාජ මාධ්‍යජාල හරහා ඒ ඒ නිෂ්පාදන සඳහා ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමත් ආදර්ශවත් අංගයකි. ඒ අනුව ඇණවුම් රැසක් පාසලට ගෙන ඒමටත් ගැමුණුපුර විදුහල් දූ පුතුන්ට හැකි විය. සිංහල, දෙමළ, මුස්ලිම් සිසු සිසුවියන්ගෙන් සැදුම්ලත් වුවද ඒ කවුරුත් එක සේ කර්මාන්ත අංශයට හිතැතිය. එය මේ විදුහල අතින් දක්නට ලැබෙන තවත් විශේෂයකි.
තවදුරටත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කරමින් වෙළෙඳපොළට එකතු කිරීමටත් මේ නවක ව්‍යවසායක ව්‍යවසායිකාවන් කටයුතු කළේ ස්ව කැමැත්තෙනි. ඒ ඔස්සේ ඉදිරියට ගමන් කරන විද්‍යාර්ථීන්ට කළමනාකාරිත්වය, වෙළෙඳපොළ, අලෙවිකරණය ආදිය පිළිබඳ කර්මාන්තශාලා සහ ව්‍යවසායකයන් හරහා මඟපෙන්වීම් කිරීමේදී පාසල් පරිපාලනය මෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලය දුන් දායකත්වය සිසු සිසුවියෝ කෘතඥතා පූර්වකව සිහි කරති.
එසේම, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඉහළ වැඩ කොටසක් කළ ද ඉතා දුෂ්කරතා මැද ඒ මෙහෙවරෙහි නිරතව සිටින බවත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, ලක්සිරි රත්නායක මහතා අවධාරණය කරයි. ඒ, සහකාර අධ්‍යක්ෂ මධුශානි වීරසිංහ සහ සංවර්ධන නිලධාරිනි, අශානි මලවිආරච්චි ඇතුළු පිරිසගේ කැපවීමෙනි. එහෙත්, ඉන්ධන දීමනා ආදී ගැටලු පැවතීම හේතුවෙන් දිනපතා පාසල් කරා යෑමට නිලධාරින්ට නොහැකි වී තිබේ. අර්ධ රාජ්‍ය ආයතනයක් වශයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයීය නිලධාරින් ඒ කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා කරති.
නුවන් මහේෂ් ජයවික්‍රම