සැප්තැම්බර් මස 15 වැනිදා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (18) නිකුත් කළේය. එසේම එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවූ බව කියන පළමුවන ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න තුනකට අදාළව පිළිතුරු පත්‍ර සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදි. එසේම අදාළ පිළිතුරු පත්රවලට ලකුණු ලබාදීම සහ එම විභාගයේ දී ලබා ගන්නා ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදි.
පසුගියදා පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසරද ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරුතහනම් නියෝග හතර නිකුත් කරන ලදි.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් විභාග කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත එම ප්‍රශ්න පත්‍රයට අදාළව විභාගය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාට එහිදී විනිසුරු මඬුල්ල නියම කර සිටියේය. එම කරුණු සලකා බැලීම සඳහා පෙත්සම් දෙසැම්බර් මස 02 දා නැවත කැඳවීමටද තීරණය කෙරිණ.
විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කැබිනට් මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.
ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහත්වරු ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වැනි දින පැවැති බව පෙත්සම් සඳහන් වේ. ඊට පෙර මෙම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස අඩංගු ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට පසුව තොරතුරු වාර්තා වූ බව පෙත්සමෙහි දැක්වෙයි. ඒ සම්බන්ධ සොයා බැලීමේ දී මෙම ප්‍රශ්න තුනට බොහෝදුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් ලබා දී ඇති බවට කරුණු හෙළි වූ බව ද එහි සඳහන් වේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වූ බව ද පෙත්සම්වල සඳහන් වේ.
පිටවී ඇති බව කියන අදාළ ප්‍රශ්න තුන ඉවත්කොට පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු කිරීමට මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මේ පත්කළ කමිටුව මඟින් තීරණය කර තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්වල සඳහන් වේ. පෙත්සම්කරුවන් ඊට සිය අකමැත්ත පළ කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ද පෙත්සම්වල සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වූ අතර එම විභාගයේ පිළිතුරු පත්වලට අදාළ ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කළ බව ද පෙත්සමේ සඳහන් වෙයි.
කෙසේ වුවද බලධාරීන් විසින් අදාළ ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමට තීරණය කළ බව ද පිටවී ඇති ප්‍රශ්නවලට සියලු සිසුන්ට ලකුණු ලබාදීමට තීරණය කළ ඇති බව ද මාධ්‍යවලින් ඉකුත් 14 වැනිදා තමන්ට දැනගැනීමට ලැබුණු බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ.
එලෙස ලකුණු ලබාදීමක් සිදුකළහොත් විභාගයට පෙනී සිටි සිසුන්ගේ අවසන් ප්‍රතිඵලයට එය අගතිදායක ලෙස බලපෑමක් සිදුකළ හැකි බව පෙත්සමෙහි සඳහන් වෙයි. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙස නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පිටවී ඇතැයි කියන ප්‍රශ්නවලට අදාළව සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙසද පෙත්සම් මඟින් ඉල්ලා ඇත. මෙම ප්‍රශ්න පිටවීම ඇතුළුව ඊට අදාළ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
මෙම සිද්ධිය මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
නෙල්කා මැදගෙදර