Home » පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතා අයිතියට

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතා අයිතියට

by sachintha
November 19, 2024 1:15 am 0 comment

පයාගල නව දෙමහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල (MOH) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරතින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී.

රුපියල් මිලියන 93ක වියදමකින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ස්ථාපිතවීමත් සමඟ පයාගල ප්‍ර‌දේශයේ 122,000 පමණ ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට හැකියාව ලැබෙන අතර, පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 07කින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කොට්ඨාස 33කින් යුක්තය.

ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 73ක් සහ උපකරණ සඳහා රුපියල් මිලියන 20 ක් වශයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 93කි.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් 195,000ක පමණ ජනගහනයකට සෞඛ්‍ය සේවාවන් සපයා ඇති අතර, කාර්යක්ෂම සේවාවක් සැපයීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත.

පයාගල නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිහිටුවීමත් සමඟ බේරුවල සහ පයාගල වශයෙන් වෙන්ව ශක්තිමත් සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවස්ථාව උදා වී ඇත.

සෞඛ්‍ය සේවාවේ නව විවෘත කිරීම්, සමරුඵලක හා උත්සවවලින් තොරව නව සංස්කෘතියක් තුල සිදු කෙරෙන බවත් පසුගිය කාලය තුල එලෙස විවෘත කිරීම් ගණනවක් සිදු කළ බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේය.

මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල රුපියල් මිලියන 93 ක වියදමින් මනරම්, දැකුම්කළු සහ අවශ්‍ය සියලුම අංග උපාංගවලින් සමන්විතව ඉදිකළ ගොඩනැගිල්ලක් බව පැවැසූ ලේකම්වරයා මෙරට රෝග නිවාරණ අංශය ලෝකයටම ආදර්ශයක් දෙන අංශයක් බව කියා සිටියේය.

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව, රෝග නිවාරණ අංශය, පරිසර සෞඛ්‍ය වශයෙන් පුළුල් වපසරියක දිවෙන විශාල සේවාවක් සිදු කරන ස්ථානයක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පෙන්වා දිය හැකි බව ද හෙතෙම පැවැසීය.

මෙම අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, කළුතර ශික්ෂණ රෝහලේ අධක්ෂ වෛද්‍ය මධුභාෂිණි කරුණාරත්න, පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මංජුල හෑකන්දල යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT