වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකට පහරදීමෙන් මරණයට පත්කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර ගුරුවරියන් දෙදෙනා ලබන 2 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාරවිල අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා ඊයේ (18) නියෝග කළේය.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ රමිෂා දිනිති තමෙල් නමැති 16 හැවිරිදි සිසුවියකි. ඇය වෙන්නප්පුව මාටින්ද ෆොරස් මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.
ඉකුත් අගෝස්තු 9 වැනි දින මියගිය සිසුවිය ඇතුළු සිසුවියන් තිදෙනකු පාසල ආරම්භවීමෙන් පසු පන්ති කාමරයේ නොසිටි බව පවසමින් පන්ති භාර ගුරුවරිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය සිද්ධිය විමසා මියගිය සිසුවියට හා අනෙක් සිසුවියන් දෙදෙනාට අතින් පහර දී පාසලේ මිදුලේ දැඩි අව් රශ්මිය ඇති ස්ථානයක දණ ගස්සවා ඇති අතර ඒ අවස්ථාවේ ක්ලාන්ත වී ඇද වැටී ඇති බව කළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුව සැකකාර ගුරුවරියන් දෙදෙනා මියගිය සිසුවිය පන්ති කාමරයට ගෙන ගොස් බංකුවක තබා මවුපියන්ට දුරකතන පණිවිඩයක් දී පාසලට ගෙන්වා ගැනීමෙන් පසු මවුපියන් ඇය මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.
මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවියගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා එහි දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. මාස දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබා රෝහලේ වාට්ටුවකට යොමු කර දින කීපයකට පසු මාරවිල රෝහලට එවීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 13 වැනි දින මියගොස් තිබේ.
අනතුරුව ඇප මත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා සිසුවිය මියගිය පසු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස තවදුරටත් රක්ෂිත භාරයට පත් කළේය.
මිහිර විජේසේකර – මාරවිල සමූහ