Tuesday, May 13, 2025
Home » රුමේනියා යන්න සිටි තරුණයා තෙලිඇල්ලේ සැඟවෙයි

රුමේනියා යන්න සිටි තරුණයා තෙලිඇල්ලේ සැඟවෙයි

-උපන් දින සාදය ශෝකාන්තයකින් නිමවෙයි

by sachintha
November 19, 2024 1:47 am 0 comment

උපන්දිනයක් සැමරීමට දැදිගම පොලිස් වසමේ ගුරුගොඩ ඔයේ තෙලිඇල්ලට ගොස් සිටියදී ඊට ඇද වැටී අතුරුදන්ව සිටි තරුණයාගේ දේහය ඊයේ (18) දහවල් හමු වූ බව දැදිගම පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ දැදිගම තුංතොට විසී පාර පදිංචිව සිටි හිටිහාමිල්ලාගේ අශාන් ප්‍රබෝධ නැමැති 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මියගොස් ඇති තරුණයාට වැඩිමල් සොයුරියක් සිටින බවත් ඇය විවාහ වී වෙනම පදිංචිව සිටින බවත් පොලීසිය පැවසීය. මවුපියන් සමඟ නි‍ෙවසේ පදිංචිව සිට ඇති තරුණයා වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක නියැළී සිට ඇති බවත් පොලීසිය පැවසීය. ඉදිරි සති තුන ඇතුළත දී රුමේනියාවේ රැකියාවකට පිටත්ව යෑමට සූදානම්ව සිට ඇති බවට කරන ලද විමර්ශනවලදී අනාවරණය වු බවත් පොලීසිය පැවසීය.

මියගොස් ඇති අවිවාහක තරුණයා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් තරුණ කණ්ඩායමක් පෙරේදා (17) දහවල් එක් තරුණයකුගේ උපන් දිනයක් නිමිති කරගෙන මත්පැන් බෝතල් කිහිපයක් සහ ඊට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යතුරුපැදිවලින් හා ත්‍රිරෝද රථවලින් සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති තෙලිඇල්ලට පැමිණ තිබේ. ගලක් මත මත්පැන් පානය කර ඇති තරුණ පිරිස පසුව මියගොස් ඇති තරුණයා ඇල්ලට පැන දිය නෑමට ගිය අවස්ථාවේ දී පහළට ගසාගෙන ගොස් තිබේ. පසුව සෙසු මිතුරන් පිරිස කෑගසා පහළ දක්වා දිව ගොස් රාත්‍රි දක්වා සොයා බැලීම් කළ ද හමු වී නැති බවත් පොලීසිය පැවසීය.

යළි ඊයේ (18) පෙරවරුවේ සිට ගුරුගොඩ ඔය දිගේ අතුරුදන්ව සිටි තරුණයා සොයා යෑමේ දී කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි දික්ඇළ ප්‍රදේශයේ තිබී හමු වී විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විසින් ගොඩට ගෙන ඇති බවත් පොලීසිය පැවසීය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලීසිය වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව වරකාපොළ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය දේහය තිබුණු ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18) සවස සිදු කළාය. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දේහය පියාට (හිටිහාමිල්ලාගේ සුමනදාසට) මුදා හරින ලෙසත් වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දැදිගම පොලීසියට නියෝග කළාය. දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් භාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) සිදු කිරීමට නියමිතය.

දැදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් දංගල්ල මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක කිංස්ලි, පොලිස් කොස්තාපල් බණ්ඩාර (78662) නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT