Home » මහජන බැංකුවේ සභාපති වැඩ අරඹයි

මහජන බැංකුවේ සභාපති වැඩ අරඹයි

by sachintha
November 19, 2024 1:44 am 0 comment

මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා ඊයේ (18) කොළඹ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි… පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකි. විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්‍රීය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත. මහාචාර්ය ප්‍රනාන්දු මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකිය මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අයෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යපාර පරිපාලන (MBA) උපාධි වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්‍රදානයන් ලබාගැනීම, ISO 21001 සහතිකය හිමිකර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප්‍රථම උපාධිය හිමිකරගත් ප්‍රනාන්දු මහතා මධ්‍යම චීන සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගෙන ඇත. එමෙන්ම කොළඹ ක්‍රමයේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන උපාධියක් ද හිමි කරගෙන ඇත.

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැනි මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන සඳහා උපදේශකවරයකු සහ සම්පත්දායකයකු ලෙස ද මහාචාර්ය ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය මූල්‍ය ආයතනයකට නායකත්වය ලබා දීමට අවස්ථාව ලැබීම පිළිබඳ අභිනව ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේ දී, මහාචාර්ය ප්‍රනාන්දු මහතා සිය සතුට ප්‍රකාශ කළේය. එමෙන්ම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ගනුදෙනුකාර කේන්ද්‍රීයභාවය වර්ධනය කිරීම සහ දිනෙන් දින පුළුල් වන රටේ අවශ්‍යතාවන්ට සහායවීම සඳහා ශක්තිමත්, තිරසර බැංකු ජාලයක් ගොඩනැ‍ඟීම අරමුණු කරගත් මහජන බැංකුව සඳහා වූ ඔහුගේ දැක්ම එහි දී ඔහු අවධාරණය කළේය.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි සහ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT