Tuesday, May 13, 2025
Home » යතුරුපැදිය සිසුසැරියේ හැපී පියා සහ දියණියට බරපතළයි

යතුරුපැදිය සිසුසැරියේ හැපී පියා සහ දියණියට බරපතළයි

by sachintha
November 19, 2024 1:27 am 0 comment

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී ඊයේ (18) උදෑසන සිදු වූ රිය අනතුරකින් පියකු සහ දියණියක බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නමැති 56 හැවිරිදි සත්ත්ව සංවර්ධන උපදේශකවරයකු සහ ඔහුගේ දියණිය වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි. ‘සිසු සැරිය’ පාසල් බස් රථයක් උතුරුමැද පළාත් සභාව දෙස සිට වලිසිංහ හරිස්චන්ද්‍ර මාවත ඔස්සේ ශාන්ත ජෝශප් විද්‍යාලය දෙසට ගමන් කරමින් තිබියදී, එම පියා සහ දියණිය ගමන් කළ යතුරුපැදිය අතුරු මාර්ගයක සිට එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමේදී යතුරුපැදිය බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය. රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පියා ශල්‍යකර්ම කිහිපයකට භාජනය කළ බවයි.

යතුරුපැදියෙන් දියණිය පාසලට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ‘සිසු සැරිය’ පාසල් බස් රථයේ රියැදුරා මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

අනුරාධපුර සංචාරක බී.ජි. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT