මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ඇතුළු විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ නිලධාරිහු පිරිසක් ඉකුත් දා එප්පාවල පොස්පේට් සමාගමේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ඉදිරියේදි මෙම පොස්පේට් නිධියෙන් ලබා ගන්නා රොක් පොස්පේට් සඳහා අනෙකුත් අගයන් එකතු කර පොහොර නිෂ්පාදනය කර, අඩු මිලකට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව එහිදී මහාචාර්යවරයා පැවසීය. ඒ තුළින් මෙරටට පොහොර ආනයනය කිරීම වෙනුවෙන් රජය වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බව ද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළේය. මේ සඳහා ලංකා පොස්පේට් සමාගමේ කොන්දේසිවලට යටත්ව පෞද්ගලික සමාගම් ද සම්බන්ධ කර ගැනීම පිළිබඳව රජයේ වැඩි අවධානයක් මේ වන විට යොමු කර ඇති බව ද හෙතෙම පැවසීය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මහාචාර්ය ගෝමික උඩුගම, වරලත් ගණකාධිකාරි අමරසිංහ අතුකෝරල, පොස්පේට් සමාගමේ වැඩබලන සභාපතිනි මනෝහාරී ජයතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්