Home » පස්සර-බිබිල පාර නාය යයි ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාළයි

පස්සර-බිබිල පාර නාය යයි ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාළයි

by sachintha
November 19, 2024 1:28 am 0 comment

පස්සර – බිබිල ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ඊයේ (18) අලුයම මාර්ගයට විශාල ගල් පර්වත සමඟ පස් කඳු, ගස්කොළන් කඩාවැටීමෙන් පස්සර මොනරාගල, බිබිල රථවාහන ධාවනය මුළුමනින්ම ඇනහිට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය අසල කඳු මුදුනේ තිබූ විශාල ගල් පර්වත සමඟ පස් කඳු ගස්කොළන් මාර්ගයට කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේ රාත්‍රී 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා තිබූ ත්‍රිරෝද රථ තුනකට ද අලාභහානි වී ඇති බවත් පොලීසිය පැවසීය. නමුත් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු වී නොමැත. එම ගල් පර්වත හා පස්කඳු කඩාවැටුණු ස්ථානයේ තවදුරටත් වර්ෂාවත් සමඟ පස් කඳු හා ගල් පර්වත මාර්ගයට කඩාවැටීමේ අවදානමක් මතු වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාර්ගයට කඩාවැටී තිබෙන විශාල ගල් පර්වත ඉවත් කිරීමට අපහසු බවත් තවදුරටත් පස් කඳු හා ගල් පර්වත කඩාවැටීමේ අවදානම නිසාවෙන් එම කටයුතු සිදු කිරීමට බාධා වී තිබෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි. මේ නිසාවෙන් පස්සර, මොනරාගල, බිබිල යන මාර්ගය දින කිහිපයක් 13 කණුව ප්‍රදේශයෙන් වසා දැමීමට සිදුවන බවත් කඩා වැටී ඇති විශාල ගල් පර්වත ඉවත් කිරීමට අපහසු බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය.

පස්සර, බිබිල සහ මොනරාගල මාර්ගය සඳහා විකල්ප මාර්ග ලෙස පස්සර හිඟුරුකඩුව හරහා බඩල්කුඹුර සහ පස්සර – බදුල්ල හරහා මහියංගණය රිදීමාලියද්ද බිබිල මාර්ගය භාවිත කරන ලෙසට පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියරත්න ඒකනායක මහතා රථ වාහන රියැදුරන්ට දැනුම් දී සිටියි.

මේ නිසාවෙන් ඊයේ (18) උදෑසන රැකියාවන්ට යන උදවිය, පාසල් සිසුන්, රෝහල් කරා යන රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් මෙම පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාමට ලක්වූ ස්ථානය ඊයේ (18) නිරීක්ෂණය කිරීමට නියමිතව තිබූ බවත් එම වාර්තා උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.

විශේෂයෙන් මෙම ගල් පර්වත හා පස් කඳු, ගස්කොළං කඩාවැටී නාය යාමට ලක්වී ඇති ස්ථානය නැරඹීමට යාමෙන් ජනතාවට වළකින ලෙසත්, තවදුරටත් එම ප්‍රදේශයේ ගල් පර්වත ගස්කොළං පස් කඳු කඩා වැටීමේ අවදානමක් තිබෙන හෙයින් ජනතාවට කල්පනාකාරීව සිටින්නැයි පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියරත්න ඒකනායක මහතා දැනුම් දෙයි.

සොරණාතොට සමූහ –

සී. ගමගේ, බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන, ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි, හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න, මීගහකිවුල සමූහ – එන්. නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT