මේ ලෝකයේ විශ්වාසය ගොඩනැඟුන තැන බොහෝ දෙනා බැඳෙති. තරුණ තරුණියන්ගේ ආදරය, ප්‍රේමය කියන්නේත් ලෝභයටමයි. ඒ තරුණ යුවළත් ආදරයෙන් බැඳිලා. ඒ ආදරය නිසා ඇති කරගත්ත විශ්වාසයට ඔවුන් අතර බැඳීම දුරදිග ගිහින්. ඒත් නිවෙස් දෙකෙන් මේ සම්බන්ධයට කැමැති වෙලා නැහැ. ඔවුන් තදින්ම විරුද්ධ වෙලා. එයට බලපා ඇති ප්‍රධානම කාරණාව ඒ පිරිමි දරුවාගේ කුලය සහ දුප්පත්කමයි. තරුණියගේ පාර්ශ්වයෙන් පිරිමි දරුවාට මරණ තර්ජන පවා කර තිබෙනවා. ඔවුන්ගේ අවසාන තීරණය වූයේ දෙදෙනාම සියදිවි නසා ගැනීමයි. ඒ තරුණියත් ඔහුට දැඩිව බැඳිලා. ඔවුන් අතර ගොඩනැඟුන විශ්වාසය කඩා දමන්නට වැඩිහිටියන්ට නොහැකි වී තිබෙනවා.
විශ්වාසවන්තකම උතුම්ම ඥාතියායි. නෑයෝ වේවා! නොනෑයෝ වේවා! කෙනෙක් සම්බන්ධව තිබෙන විශ්වාසවන්තකම හොඳ නරක දෙකම ජීවිතයට ලබා දෙයි. දිවි හිමියෙන් බැඳෙන විශ්වාසය ජීවිතයට යහපත මෙන්ම අයහපතද ගෙන දේ. “විස්වාසා පරමා ඥාතී” ලෙස විශ්වාසවන්ත බව පරම ඥාතියා බව භාග්‍යවතුන් වහන්සේද දේශනා කළ සේක.
ඔවුන් දෙදෙනා සියදිවි නසා ගන්නට භාවිත කර තිබුණේ වස ය. පිරිමි දරුවා මොනතරම් වේදනාවෙන් අපහසුතාවට පත් වුවත්, මරණාසන්න මොහොතේ ගැහැනු දරුවා සම්බන්ධවම ඇති වූ බැඳීමෙන් සිට තිබෙනවා. ඔහු වේදනාවෙන් දඟලන යුවතිය ගැනම කල්පනා කරමින් තමන්ගේ වේදනාව නොසලකා කරුණාවන්ත සිතින් ඇයව බේරා ගන්නට ඇත්නම් හොඳයි යැයි සිතා තිබෙනවා.
තරුණියද වේදනාවෙන් කෑගැසුවත් තරුණයා බේරා ගන්න ඇත්නම් හොඳයි යැයි සිතා තිබෙනවා. නිවෙස්වල විරෝධය නිසා සියදිවි නසා ගන්නට සිතුවත් දෙදෙනාම දෙදෙනාට තදින්ම විශ්වාසවන්තව සිට තිබෙනවා. එකිනෙකාට කළ ආදරය කොතරම් බලවත් වුවත්, මේ මොහොතේ රාගය මතු වී තිබී නැත. එය ඉතාමත්ම අඩුවෙන් දකින්නට ලැබෙන වෙනසක්. බොහෝ දෙනා සිතන්නේ සියදිවි නසා ගත් අය කෙළින්ම සතර අපාගත වන බවයි. මරණාසන්න මොහොතේ ඇති වන චිත්ත වීථිය අනුව එය වෙනස් වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
සියලුම සත්ත්වයන්ගේ මරණය සහ නැවත උපත සිදුවන්නේ මේ ආකාරයට යි. මරණයට පත්වීම ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“තත්‍ථ කතමා මරණං. යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්ත නිකායා චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, කලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්‍ද්‍රියස‍්ස උපච්ඡෙදො. ඉදං වුච්චති මරණං.
තේරුම :-
“මරණය කියන්නේ කුමක්ද? ඒ ඒ සත්ත්ව නිකායෙහි, ඒ ඒ සත්ත්වයන්ගේ, යම් චුතවීමක්, චුත වන බවක්, බිඳීමක්, අතුරුදන් වීමක්, මච්චු මරණයක්, කාල ක්‍රියාවක්, ස්කන්ධවල බිඳීමක්, ශරීරය බහා තැබීමක්, ජීවිතේන්ද්‍රිය සිඳී යාමක් වෙනවද, මෙයට මරණය යැයි කියනු ලැබේ.”
“යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ’” ලෙස දේශනා කළේ “ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ව නිකායෙහි” යන්නයි. මෙතැන සත්ත්වයෝ ලෙසත්, සත්ත්ව නිකායන් ලෙසත් සෑම ආකාරයකටම සිටින සියලුම සත්ත්වයෝ ගැන සඳහන් වේ.
මරණය
මරණය ගැන සඳහන් කරන විට ‘’චුති චවනතා’’ යන්නෙහි ‘’චුති’’ කියා කියන්නේ, එක ස්කන්ධයක් වේවා! ස්කන්ධ හතරක් වේවා! ස්කන්ධ පහක් වේවා! ඒ සෑම තැනකම සිටින සත්ත්වයෝ, ඒ ආත්මභාවයෙන් චුත වන ස්වභාවයට යි. “චවනතා’’ ලෙස සඳහන් වුණේ, ඒ මරණයේ ලක්ෂණය යි. චුත වන බවයි.
“භේදෝ” යන පදයෙන් කියවුණේ, චුති ස්කන්ධයන්ගේ භංගය යි. “අන්තරධානං” යන පදයෙන් ස්කන්ධයන්ගේ බිඳීමක් ඇති විට, පැවැත්මක් නැති බව දක්වන්නට, අතුරුදන් වීම ලෙස දේශනා කළ සේක.
“මච්චු මරණං” යන පදයෙන් භවයෙන් මියයෑම දේශනා කළ සේක. “කාලකිරියා’’ යන පදයෙන් “කාල’’ නමින් හඳුන්වන මාරයාගේ ක්‍රියාව දක්වන්නට කාලක්‍රියාව ලෙස දේශනා කළ සේක. මේ වචන කිහිපයෙන්ම කියවුණේ ලෝක සම්මත මරණය යි. සම්මුති මරණය යි.
ඉන් පසුව පරමාර්ථ ධර්ම විදිහට කරුණු දේශනා කළ සේක. පරමාර්ථ ධර්ම ලෙස කතා කරන කොට සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් විදිහට කිසිම දෙයක් හමු වන්නේ නැත. ලැබෙන්නේ ස්කන්ධ ධර්මම පමණයි. එම නිසා “ඛන්ධානං භේදෝ” ලෙස දේශනා කළ සේක. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ බිඳීමයි. ස්කන්ධයන්ගේ බිඳීම ඇතිවිට සිදුවන්නේ සත්ත්වයාගේ මරණයයි. මේ වචනයෙන් “චතු වොකාර” (අරූපාවචර) සහ “පඤ්ච වෝකාර’” (අරූපාවචර සහ අසඤ්ඤසත්තය හැර අනිත් භවයන්) භවවල ස්කන්ධයන්ගේ බිඳීම දේශනා කළ සේක.
“කලේබරස්ස නික්ඛේපෝ” යන පදයෙන් ‘මෘත ශරීරය බහා තැබීම’ යන්න කියැවේ. මෙයින් කියැවෙන්නේ “ඒක වෝකාර භවය” වන අසඤ්ඤසත්තයේ ආත්මභාවය බහා තැබීම හෙවත් මරණයයි.
“අන්තරධානං” යන පදයෙන් කියවුණේ අතුරුදන් වීමයි. චාතුර්මහාරාජික වැනි භූමිවල සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධියත්, නිරය භූමියේ සත්ත්වයින්ගේ ප්‍රතිසන්ධියත් ඕපපාතික නිසා, ඔවුන්ගේ මළ සිරුරු ඔවුන් චුතවීමත් සමඟම අතුරුදන් වුණා.
“කලේබරස්ස නික්ඛේපෝ” යන පදයෙන් කියවුණේ මළ සිරුර බහා තැබීමයි. තිරිසන් භූමියෙහි සත්ත්වයෝ උපදින්නේ සංසේදජ, ජලාබුජ යන ක්‍රමවලට ය. මිනිසුන් උපදින්නේ ජලාබුජ ක්‍රමයට ය. මේ තැන්වලින් චුත වන සත්ත්වයෝ, චුත වන්නේ මළ සිරුර බහා තබාය. මේ මරණය කියන වචනය ඉන්ද්‍රියයන් පිළිබඳව පැවැති සත්වයන්ගේ නැතිවීම දක්වන්නට භාවිත කරන වචනයකි. මේ මරණය තුන් ආකාරයක් වේ. ඒ
1. ඛණික මරණය.
2. සම්මුති මරණය.
3. සමුච්ඡේද මරණය ලෙසට යි.
“ඛණික මරණය’’ කියන්නේ නාම රූප ධර්මයන්ගේ සිදුවන බිඳීමට යි.
“සම්මුති මරණය’’ කියන්නේ මේ මේ සත්ත්වයා මැරුණා යයි කියලා කියන සම්මුතියටයි. මේ මරණය ස්කන්ධ පරම්පරාවේ මුල් සිඳීමක් නෙමෙයි. මෙසේ මියගිය අය නැවත කොහේ හරි උපත ලබයි.
“සමුච්ඡේද මරණය’’ කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ පිරිනිවන්පෑමටයි. රහතන් වහන්සේලා අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන විට ස්කන්ධ පරම්පරාවත් සහමුලින්ම සිඳී අවසන් වේ.
මේ සම්මුති මරණයත් පස් ආකාරයකට බෙදේ.
1. ජාතික්ඛය මරණය (එක් කර්මයකින්
උපන් ජීවිතේන්ද්‍රියපරම්පරාව සිඳී යාමෙන්
වන මරණය)
2. උපක්‍රම මරණය
(උපක්‍රමයෙන් සිදු වන මරණය)
3. සරස මරණය (තමාගේ ස්වභාවයෙන්
සිදු වන මරණය)
4. ආයුක්ඛය මරණය
(ආයුෂ අවසන් වීමෙන් සිදුවන මරණය)
5. පුඤ්ඤක්ඛය මරණය
(පින් අවසන් වීමෙන් සිදුවන මරණය)
උප්පත්තිය ලැබූ අයෙක් මරණයට ළං වනවිට ඔහුගේ ශරීරයෙහි බලවත් වේදනාවන් ඇති වේ. කායිකව, මානසිකව බලවත් පීඩාවන්, දුක්ඛ දෝමනස්සයන් ඇති වේ. සත්ත්වයා කොහේ උප්පත්තිය ලැබුවත්, උපන් සියලු සත්ත්වයෝ මරණයට පත් විය යුතුම ය.
මේ සියලුම සත්ත්වයින් මරණයට පත් වන විදිහයි. මේ මොහොතේ මරණාසන්න චිත්ත වීථියේ හැටි මෙසේ ය. සාමාන්‍ය ලෝකයාට මෙය නොතේරේ. එහෙත් දැනගෙන සිටීම හොඳ ය. එම නිසා එය ද කෙටියෙන් හෝ කිව යුතු ය. ස්වාමින් වහන්සේලා මේ කාරණා ගැන කියන්නේ කුමන පදනමක සිට ගෙන දැයි සාමාන්‍ය ලෝකයාද දැන ගත යුතු ය.
මරණාසන්න මොහොතේ හෘදය වස්තුව ඉතා දුර්වල නිසා මරණාසන්න චිත්ත වීථියේ ජවන් සිත් හටගන්නේ පහක් පමණි.
කාම භූමියෙහි මෙන්ම රූපාවචර, අරූපාවචර භූමිවල ද මියයන සත්ත්වයින්ට මරණාසන්න ලෙස කාමාවචර ජවන් සිත්ම ඇතිවීම ස්වභාව ධර්මතාවයකි. එම නිසා මරණාසන්න චිත්තවීථි ලෙස ඇති වන්නේ කාමාවචර යෙදෙන චිත්ත වීථියක් ම වේ.
මරණාසන්න චිත්ත වීථි වර්ග දෙකක් තිබේ.
1. පංච ද්වාර මරණාසන්න වීථි
2. මනෝද්වාර මරණාසන්න වීථි
මේවායින් පංචද්වාර මරණාසන්න වීථි පහක් තිබේ.
1. චක්ඛු ද්වාර වීථි
2. සෝත ද්වාර වීථි
3. ඝාණ ද්වාර වීථි
4. ජිව්හා ද්වාර වීථි
5. කාය ද්වාර වීථි
මේ පංච ද්වාර මරණාසන්න චිත්ත වීථි පහෙන්, එක් ද්වාරයකින් චිත්ත වීථි සතරක් හට ගනී. එවිට පහෙන්ම චිත්ත වීථි 20ක් ලැබේ.
චක්ඛු ද්වාර මරණාසන්න චිත්ත වීථි සතර-
1. ජවනයට අනතුරුව චුතිය වන වීථිය.
2. ජවන භවංගයට අනතුරුව චුතිය වන වීථිය.
3. තදාරම්මණයට අනතුරුව චුතිය වන වීථිය.
4. තදාරම්මණ භවංගයට අනතුරුව
චුතිය වන වීථිය.
තරුණ යුවළගේ මීළඟ උපත කොහේද?
ඊළඟ සතියෙන් බලාපොරොත්තු වන්න.
වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරින් සැකසුනකි.