මද්දකට හසුවී, කම්බි මද්ද මතින්, මස් ලියලා ඉදිරි පාදයේ විශාල තුවාලයක් සහිතව සැරිසරන කෙණෙරක සහ වනඅලි පැටවකු පොලොන්නරුව දිඹුලාගල සිරිපුර පල්ලේගම රක්ෂිතයේ රැඳී සිටියි.
මාස දෙකක පමණ කාලයක සිට මෙසේ තුවාල ලැබූ කෙණෙර සහ වනඅලි පැටවා සිරිපුර පල්ලේගම රක්ෂිතයේ සැරිසරමින් සිටින බව ගම්මුන් පවසති.
වයස අවුරුදු 30 -35ත් අතර වයසේ පසුවන මෙම කෙණෙර පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුම්වත් කළද කිසිදු ප්‍රතිචාරයක් මේ වන විටත් නොලැබී ඇති බව ගම්මුන් සඳහන් කරති. මෙම කෙණෙර රක්ෂිතයේ සැරිසරන ආකාරය ඉතාමත් සංවේදීය. දිනකට කිලෝමීටර් සීයකට වඩා දුරකට ඇවිද ගොස් ආහාර සොයාගන්නා වනඅලින් අතර මෙම කෙණෙරට ඇවිද යාමට නොහැකි නිසා පවතින ආහාර හිඟයෙන් ශරීරය දුබලවී ඇත.
මවගේ පාදයේ තිබෙන තුවාලයත් සමඟ ඇවිද ගැනීමට නොහැකිව සිටින අවස්ථාවේදී පවා එම කෙණෙරගේ පැටවා ඇය ළඟින්ම සැරිසරන අයුරු දක්නට ලැබේ.
මේ පිළිබඳව වහාම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු නොවුණහොත් පාදය දැඩි ලෙස තුවාල වී මෙම සත්වයාගේ මරණය පවා ළඟා වීමට හැකි බව ගම්වැසියන් පවසා සිටී. එම නිසා කඩිනමින්ම අවශ්‍ය ප්‍රතිකාර කරන ලෙස ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර සිටියි.
මේ පිළිබඳ පිඹුරත්තෑව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීයකුගෙන් විමසූ විට පැවසුවේ කෙණෙරට ප්‍රතිකාර ලබා දීම සඳහා කෙණෙර රැඳීසිටින කැළෑව තුළ මෙහෙයුම් සිදුකළද සොයා ගැනීමට නොහැකි බවයි.
ඇළහැර – සරත් වෙලගෙදර