ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාරික කවුන්සලයේ (SLCBC) නියෝජිත පිරිසක් කැනඩාවේ සංචාරයක නිරතව තිබේ. කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සංචාරයට පහසුකම් සලසා තිබෙන අතර ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක් වූ බව කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මේ වනවිට එම නියෝජිත කණ්ඩායම කැනඩාවේ සංචාරයේ යෙදී සිටින අතර ටොරොන්ටෝ, ඔටාවා, මොන්ට්‍රියල් සහ වැන්කුවර් වැනි ප්‍රධාන නගරවල සංචාරය කරන බව ද එළඹෙන 22දා දක්වා එම සංචාරය සිදු වන බව ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියයි.
නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාරික කවුන්සල නියෝජිත පිරිස කැනේඩියානු ව්‍යාපාරික ස්ථාන සහ ආයතනවල සාමාජිකයන්, අදාළ රාජ්‍ය නිලධාරීන් හා අධ්‍යයන ආයතන සමඟ ද්විපාර්ශ්වික, වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීම සහ ධාරිතා ගොඩනැඟීමේ වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කර තිබේ.
කොළඹ වරාය නගරය සහ කන්කසන්තුරේ කාර්මික සැකසුම් කලාපය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අධ්‍යාපනය, ස්මාර්ට් කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණ, සංචාරක සහ යටිතල පහසුකම් වැනි අංශවල අවස්ථා ගවේෂණය කිරීමට මේ සංචාරයට සහභාගිවන්නන්ට වේදිකාවක් සලසා ඇත.
මේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාරික කවුන්සලයේ නියෝජිත පිරිස කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් ජවුහර් මහතා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජාන් මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙන අතර කැනඩාවේ ගෝලීය කටයුතු පිළිබඳ නියෝජිතයන් සමඟ හමුවක් ද සංවිධාන කර තිබේ. ඊට අමතරව මහ කොමසාරිස් නිල නිවෙසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද නියෝජිත පිරිස එක්ව ඇත.
කැනඩාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා – කැනඩා ව්‍යාපාරික කවුන්සලයේ නියෝජිත කණ්ඩායම කැනේඩියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රා ආර්ය සමඟ ඵලදායී සාකච්ඡාවක නිරතව තිබෙන අතර ඊට අමතරව ඔවුන් කැනඩා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මුතිය, ස්කාර්බරෝ ව්‍යාපාරික සංගමය, ජ’පුර – කැනඩා ආදි ශිෂ්‍ය සංගමය, කැන් ලංකා ව්‍යාපාරික සංගමය, ඔන්ටාරියෝ විශ්වවිද්‍යාල කවුන්සලය සහ සරේ වෙළෙඳ මණ්ඩලය සමඟ ද අන්තර්ක්‍රියා සිදුකර ඇත.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තුෂාර රුද්‍රිගෝ සහ ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක කුමාරසාමි කිරිතරන් මහත්වරු මේ දූත පිරිසේ සංචාරය සම්බන්ධීකරණය කර තිබේ.
මහින්ද අලුත්ගෙදර