Home » ස්වාභාවික ද්‍රව වායු ද්විත්ව ඉන්ධන RORO නැව හම්බන්තොට වරායට

ස්වාභාවික ද්‍රව වායු ද්විත්ව ඉන්ධන RORO නැව හම්බන්තොට වරායට

by sachintha
November 20, 2024 2:30 am 0 comment

‘ග්ලොවිස් සෙලීන්’ LNG (ස්වාභාවික ද්‍රව වායු) ද්විත්ව ඉන්ධන RORO නෞකාව සිය මංගල යාත්‍රාව සිදු කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත සේන්දු වී තිබේ.

මෝටර් රථ ඒකක (CEU) 627ක් වරායේ ගොඩබා, තවත් CEU 934ක් පර්සියානු බොක්ක වෙත රැගෙන යාම සඳහා එම නෞකාවට පටවාගෙන තිබෙන අතර ද්වි-ඉන්ධන LNG RORO නෞකාවක් HIP වෙත පැමිණි දෙවන අවස්ථාව මෙය බව හම්බන්තොට වරාය පවසයි.

මීටර් 200ක් දිග, මීටර් 38ක් පළල, මීටර් 8.6ක පත්ලයක් සහ ගබඩා තට්ටු 12කින් සමන්විත ග්ලොවිස් සෙලීන් නෞකාවට, CEU 7000ක් දැරීමේ ශක්තිය ඇති අතර 2024 සැප්තැම්බරයේ ක්‍රියාත්මක කරන ලද නෞකාව දකුණු කොරියානු නාවික දැවැන්තයකු වන හයිහුන්ඩායි ග්ලොවිස්හි LNG ද්වි-ඉන්ධන ඇණියට එකතු වූ නවතම සාමාජිකයෙකි.

2023 වසරේ දී ලොව විශාලතම RORO නැව් සමාගම් අතරින් තුන්වැන්නා ලෙස ඩේලි ලොජිස්ටික්ස් සඟරාව විසින් ශ්‍රේණිගත කරන ලද හයිහුන්ඩායි ග්ලොවිස් සමාගම, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන RORO සැපයුම්කරුවකු වන අතර, HIP හි ඉහළ පරිමාව පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

ඉන්ධන කාර්යක්ෂමතාව සහ නවීන සම්පත් කළමනාකරණය, පාරිසරික වගකීම සමඟ පහසුවෙන් මුසු කරන LNG නෞකා, තිරසර සමුද්‍රීය මෙහෙයුම් සඳහා වැඩි වැඩියෙන් භාවිත වෙමින් පවතී. අන්තර්ජාතික සමූද්‍රීය සංවිධානයේ (IMO) ගෝලීය සල්ෆර් රෙගුලාසි වැනි ජාත්‍යන්තර පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව, බොහෝ LNG වාහකයන් දැන් ප්‍රචාලනය සහ අතිරේක බලය යන දෙකම සඳහා LNG ඉන්ධන මත යැපෙයි.

මේ සංක්‍රමණයෙන් සල්ෆර් ඔක්සයිඩ් (SOx), නයිට්‍රජන් ඔක්සයිඩ් (NOx) සහ අංශු පදාර්ථ (PM) මුදා හැරීම් සැලකිය යුතු ලෙස අවම කරන නිසා, නැව්හිමියන්ට දැඩි පාරිසරික රෙගුලාසි සපුරාලීමට මෙන්ම ගෝලීය කාබන් අවම කිරීමේ ප්‍රයත්නයට සහාය වීමේ අවකාශය ලැබේ. LNG ඉන්ධන නෞකා භාවිතය පුළුල් වීමත් සමඟ, ඒවා ලොව පුරා තිරසර හා කාර්යක්ෂම නාවික මෙහෙයුම් සඳහා වඩාත් මූලික වෙයි.

ග්ලොවිස් සෙලීන් නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ජෙබෙල් අලි වරාය වෙත ගමන් අරඹා තිබේ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT