Home » සමාරම්භක රැස්වීමට සියලුම මන්ත්‍රීවරුන් උදේ 9.00ට පාර්ලිමේන්තුවට එන්න

සමාරම්භක රැස්වීමට සියලුම මන්ත්‍රීවරුන් උදේ 9.00ට පාර්ලිමේන්තුවට එන්න

by sachintha
November 20, 2024 3:19 am 0 comment

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර දැනුම් දෙයි

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පෙර ගමන් රථ අශ්වාරෝහකයන්, ජයමංගල ගාථා ආදී කිසිවක් මෙවර නෑ

හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිත දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පෙරවරු 9.00 පමණ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය දැනුම් දෙයි.

පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරින් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැඳී සිටිය යුතු බවත් පාර්ලිමේන්තු මහලේකම්වරිය සඳහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය කලත්‍රයා සමඟ පැමිණෙන්නේ නම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අබියසදී සිය රථවාහනවලින් බැසිය යුතු බවත් අනෙකුත් සියලු මන්ත්‍රීවරුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අබියසදී සිය රථවලින් බැසිය යුතු බවටත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමේ අවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක අතර, දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ අවස්ථා කිසිවක් ඇතුළත් නොකරන ලෙසද උපදෙස් ලැබී ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා විසින් පිළිගැනීමට නියමිත අතර, ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පෙර ගමන් රථ, අශ්වාරෝහකයින්, ජයමංගල ගාථා ආදී කිසිවක් ඇතුළත් නොවීමද මෙවර දක්නට ලැබෙන විශේෂත්වයන් වේ.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT