Home » ආයතනවලින් හොඳ සේවාවක් ලබාදීම ආණ්ඩුවේ අරමුණයි
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති

ආයතනවලින් හොඳ සේවාවක් ලබාදීම ආණ්ඩුවේ අරමුණයි

-කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

by sachintha
November 20, 2024 2:20 am 0 comment

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන තුළින් වඩාත් හොඳ තත්ත්වයේ ජනතා සේවාවක් සැපයීමේ හැකියාවක් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිය ඇමැති ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“සුබවාදීව ඉදිරියට යමින් තිබුණාටත් වඩා හොඳ ජනතා සේවාවක් ලබාදීමට නිලධාරින් මෙන්ම සෑම සේවකයෙක්ම කැපවීමෙන් කටයුතු කළා.

රාජ්‍ය සේවය ගැන රටේ ජනතාව තෘප්තිමත් නෑ. ආයතනයකට ගියාම ජනතාවට මේ තමන්ගේ තැනක් කියා දැනෙන්නේ නැති බවයි ඔවුන් කියන්නේ. රාජ්‍ය නිලධාරින් තමන්ට ඇහුම්කන් නොදෙන තත්ත්වයක් ගැන ජනතාව කියනවා. ඒ අය තමන්ගේ පීඩාවන්ට විසඳුම් සොයන්න රාජ්‍ය ආයතනවලට ගියාම තවත් එහිදී පිඩාවට පත් වෙනවා. මේ නිසා ජනතාව ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවයේ පරිවර්තනයක්. දේශපාලන තලයේ වෙනස්කම් දැන් බොහෝ දුරට සිදු වෙලා. සොරකම් වංචා දූෂණ නැති රාජ්‍ය සේවයක් ජනතාව ඉල්ලා සිටින්නේ. එය ඉටු කරන්නට අපට හැකි වෙනවා. ජනතා බලාපොරොත්තු අප ඉටු කරන්නට වගකීමෙන් කටයුතු කරනවා.

රාජ්‍ය සේවයේ 80%ක් තැපැල් ඡන්ද අපට ලැබුණා පසුගිය මැතිවරණයේදී. තැපැල් ඡන්දවලින් අපට දුන් පණිවිඩය නම් රාජ්‍ය සේවකයන්ද වෙනසක් ඉල්ලා සිටින බවයි. මේ අවශ්‍ය වෙනස අප සිදු කරනවා. මේ රටේ විවේචන එල්ල වන ප්‍රධාන තැන් දෙකක් තිබෙනවා. එක් ක්ෂේත්‍රයක් වන්නේ දේශපාලන ක්ෂේත්‍රයයි. දෙවැන්න රාජ්‍ය සේවයයි. මේ රටේ තිබුණාටත් වඩා හොඳ රාජ්‍ය සේවයක් ඉදිරියට පවත්වාගෙන යෑම මේ ආණ්ඩුවේ අපේක්ෂාවයි. ඒ සඳහා සෑම රාජ්‍ය සේවකයකුම කැපවීමෙන් කටයුතු කරන බවට අප විශ්වාස කරනවා. මෙම අමාත්‍යාංශ‍ෙය් පමණක් නොවේ ඕනෑම රාජ්‍ය සේවකයකුට තමන්ගේ ප්‍රශ්න අප සමඟ කතා කළ හැකියි. මේ තුළින් වඩාත් හොඳ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT