Thursday, May 15, 2025
Home » පොලීසිය දේශපාලනීකරණයෙන් මුදාගන්න ජනපති අනුර පියවර රාශියක් ගෙන තිබෙනවා

පොලීසිය දේශපාලනීකරණයෙන් මුදාගන්න ජනපති අනුර පියවර රාශියක් ගෙන තිබෙනවා

by sachintha
November 20, 2024 1:23 am 0 comment

මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල

දේශපාලනීකරණයෙන් පොලීසිය මුදා ගැනීමේ කාර්ය භාරයට අවශ්‍ය මූලික පියවර රාශියක් සහ ඒ සඳහා අවශ්‍ය වට පිටාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස ආනන්ද විජයපාල මහතා ඊයේ (19) බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගනිමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා –

ඔබ දන්නවා පසුගිය මහමැතිවරණයේ දී මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය ආණ්ඩුව සඳහා බලය ලබා දුන් බව. අපි ජාතික ජන බලවේගය හැටියට මේ රටේ ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. එක් පොරොන්දුවක් තමයි, මේ රටේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනවා කියන පොරොන්දුව. මේ රටට යුක්තිය ගේනවා කියන පොරොන්දුව, මේ රටට සාධාරණත්වය ලබා දෙනවා කියන පොරොන්දුව.

මම මේ වේලාවේ සතුටු වෙනවා මේ රටේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්න අවශ්‍යයි. මේ රටට යුක්තිය ගේන්න අවශ්‍යයි. මේ රටට සාධාරණත්වය නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් මට ලැබුණු මේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් මා සතුටු වෙනවා.

ඒ වගේම මේ වගකීම, භාරධූර කාර්ය භාරය මේ රටේ ජනතාවගේ සුඛ විහරණය, නැත්නම් සියලු ජනතාවගේ සහනය, ඔවුන් මුහුණදී තිබෙන බරපතළ පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට සුවිශාල පිටිවහලක් සපයන අමාත්‍යාංශයක් හැටියට මා සලකනවා.

ඒ වගේම ඔබ දන්නවා මේ වෙන කොට විශේෂයෙන් මේ ක්ෂේත්‍රය අල්ලලා සමාජය තුළ තිබෙන මත වාදයන් පිළිබඳව. විශේෂයෙන් අමාත්‍යාංශය සමහර අය හඳුන්වන්නේ පොලිස් අමාත්‍යාංශය කියලා. නමුත් මේක මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයයි. මහජන ආරක්ෂාව අපි සහතික කළ යුතු වෙනවා. යම් ප්‍රමාණයකට බිඳවැටීම් තියෙනවා.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT