දුරබැහැර කඳුකර ප්‍රදේශවලට ගමන් කරන ජනතාව මෙන්ම නගර වැසියන්ට ද මහත් සෙතක් සැලසූ, කලක සිට අක්‍රියව පවතින යටියන්තොට ඔරලෝසු කණුව ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කොළඹ – හැටන්, කොළඹ – නුවරඑළිය හා කිතුල්ගල – අවිස්සාවේල්ල ආදී දුර ගමන් බස් රථ මෙන්ම යටියන්තොට නගරයේ සිට ගමන් අරඹන බස් රථ ද නගරයේ නවත්වා තබන බැවින් බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි මෙම ඔරලෝසු කණුව දහස් ගණන් ජනතාවට මහත් ප්‍රයෝජනයක් වූ බව ජනතාව පවසති. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කම්හල් ව්‍යාපෘතියට සමගාමීව ඉදිවූ මෙම ඔරලෝසු කණුව අවස්ථා ගණනාවකදී අක්‍රියව පැවැති අතර, නගරයේ තරුණ කාර්මික ශිල්පීන් පිරිසක් ඔරලෝසුව අලුත්වැඩියා කර ටික කලක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවැති බවද නගර වැසියෝ පවසති. මේ පිළිබඳව යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් සුදම්මිකා තෙන්නකෝන් මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය පැවසුවේ, මෙය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ව්‍යාපාරික මහතකු අනුග්‍රහය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්ය. නවීන තාක්ෂණය යටතේ ඩිජිටල් ක්‍රමයට එය සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.
යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක