පොලොන්නරුවේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයක ලොරි රථයකින් සහල් සමඟ කුඹුක් ලෑලි තොගයක් සඟවා පොලොන්නරුවේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොරතුරක් අනුව එම කුඹුක් ලෑලි තොගය සහ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (18) සවස පොලොන්නරුව දිසා වන කාර්යාලයේ නිලධාරින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
ලොරියේ සහල් මලු අතර සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම කුඹුක් ලෑලි රැගත් ලොරි රථය දිසා වන නිලධාරින් ලුහුබැඳ ගොස් පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා විට කුඹුක් ලෑලි දෙසීය හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ලොරි රථයේ සහල් අතර සඟවා තිබූ බව වැටලීම සිදු කළ වන නිලධාරීහු සඳහන් කළහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලොන්නරුව සහ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ ඇති විශාල කුඹුක් ගස් යන්ත්‍ර සූත්‍රවලින් කපා ඒවා ලෑලි බවට පත්කර දීර්ඝ කාලයක සිට මෙම සහල් නිෂ්පාදන ආයතනය මඟින් ලොරි රථවලින් කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත්, එය මහා පරිමාණ ජාවාරමක් වශයෙන් සිදු කරගෙන ගොස් ඇති බවට මේ වන විට කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොලොන්නරුව දිසා වන නිලධාරිවරයාගේ සහ පොලොන්නරුව සහකාර දිසා වන නිලධාරිවරයාගේ උපදෙස් මත පොලොන්නරුව අඩවි වන නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.ජේ. විජේරත්න, පොලොන්නරුව අතිරේක අඩවි වන නිලධාරි පී.එම්.එම්.ආර්. ජයසුන්දර, තමන්කඩුව වැඩබලන බීට්ටු වන නිලධාරී අයි.පී. ප්‍රේමතිලක, පොලොන්නරුව වන ක්ෂේත්‍ර සහකාර කේ.පී.ඒ.අයි. පතිරණ යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් සහ කුඹුක් දැව තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කුඹුක් ලෑලි තොගය, සැකකරුවන් සහ ලොරි රථය හෙට (21) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලොන්නරුව අඩවි වන කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.
සිරිපුර – මදුශානි අබේසිංහ