කෝටි පහකට ආසන්න මුදලක් වැය කර වැල්ලවාය, වරුණගම, බඩහෙලයාය ගම්මානයේ සැනසුම වැව ආශ්‍රිතව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති කටයුතු අක්‍රමවත්ව සිදුවී ඇතැයි සැනසුම ගොවි සංවිධානයේ ගොවීහු පවසති.
2022 වසර අවසානයේ මෙම සංවර්ධන කටයුතු මහියංගණය පිහිටි කොන්ත්‍රාත් ආයතනයක් මඟින් ක්‍රියාත්මක කර ඇති අතර එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් අවසන් වී නැතැයි ඔවුහු කියා සිටිති.
මෙම වැව යටතේ වගා කරනු ලබන කුඹුරුවලට යාම සඳහා ඉදිකළ මාර්ගයේ සංවර්ධන කටයුතු අක්‍රමවත් වීම හේතුවෙන් මෙම මාර්ගය මේ වන විට මඩවගුරක් බවට පත්වී ඇත. වර්ෂාවත් සමඟ සේදී යන්නට පටන්ගෙන ඇති ඒ රොන්මඩ සියල්ල ඇළ මාර්ගයට ගසාගෙන යාම හේතුවෙන් කුඹුරු සඳහා ජලය ගෙනයන ඇළ මාර්ගය ගොඩ වීමේ අවදානමකට ලක්ව ඇති බවත් මේ වන විටත් ඇළ මාර්ගයේ ජලය ගලා නොයන තැනට පත්වී ඇති බවත් ගොවීහු පෙන්වා දෙති.
මෙම මාර්ගය දෙසප තණපිඩැලි අල්ලා ග්‍රෙවල් දමා විධිමත් ලෙස සකස් කරදෙන බව පැවසුවද එවැන්නක් සිදුවී නැතැයි පෙන්වාදෙන ගොවීහු ඒ හේතුව නිසා මේ වන විට පාරේ ඇති පස් කුඹුරුවලට සේදී කූඹුරු ගොඩ වී ඇතැයි ද කියා සිටිති.
ඇළ මාර්ගය දිගේ අලංකාරයට මෙන්ම ආරක්ෂාවට පුවක් පැළ සිටුවන බව කියා තිබුණද එවැන්නක් සිදුවී නැති බවත් පෙන්වාදෙන ඔවුහු ඇළ හරහා ජලය ලබා ගැනීමට බට නොදැමීම හේතුවෙන් දෙපස ඉවුරු කඩාගෙන යමින් තවත් සෝදාපාළුවක් ඇතිවී ඒ පස්ද කුඹුරු ඉඩම්වලට එකතුවන බවත් කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගොවි සමිතියේ සාමාජිකයකු වන එස්.පී. ධම්මික මහතා මෙසේ පැවැසීය.
කෝටි පහකට ආසන්න මුදලක් මේ ව්‍යාපෘතියට වෙන්වෙලා තියෙනවා. ලෝක බැංකු ණය ආධාර යටතේ 2022 වසර අවසානේ වගේ මේ වැඩේ පටන් ගත්තේ. අදටත් ඉතිං හරියට ඉවරයි කියලා කියන්න වැඩක් නෑ. එක කන්නයක් අතඇරලත් තමයි අපි මේ ව්‍යාපෘතිය කරන්න ඉඩ දුන්නේ. මගේ කුඹුර දෙපසින්ම පස් කපලා පාර ගොඩකරලා ලොකු කරා. පාරේ මීටර් හතරක් තියෙනවා. වැඩිපුර කපලා දැන් කුඹුරේ විශාල කොටසක් නාස්තිවෙලා තියෙනවා. වී කවරයක් විතර අස්වද්දන්න පුළුවන් කුඹුරු කොටසක් තමයි මේ නිකං අතහැරලා දාන්න වෙලා තියෙන්නේ. මේවා විධිමත් විදිහට සකස් කළා නම් කොච්චර වටිනවද.
කෝටි ගාණක් ලැබිලත් ඕනම දේවල් ටික හරියට වෙලා නෑ. මේ ගැන ගොවි සංවිධානයේ නිලධාරින් සද්දයක් නෑ. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරලා මේ වැඩේ හරියට කරලා දෙන්න කියලා විතරයි. මේ වෙනකොට කොන්ත්‍රාත්කරු වැඩ අවසන් කරලා ගිහින්. අපි කියන්නේ මේවා අපේ සල්ලි, වැඩේ වැඩක් විදිහට කෙරෙන්නයි අපිට ඕනේ.
එච්.ඩබ්. අනුරසිරි මහතා –
ඇළ මාර්ගයෙන් කුඹුරුවලට වාහන ගන්න ක්‍රමයක් හදලා නෑ. නමුත් එහෙම ස්ථාන තුනක් හදන්න කියලා ඇස්තමේන්තුවේ තියෙනවා. නමුත් කළේ නෑ. දැන් වාහනයක් කුඹුරට ගන්න බෑ. ඇළේ කොන්ක්‍රීට් එක කැඩුණොත් කවුද ඒකට වග කියන්නේ. ට්‍රැක්ටර් හිමියෝ කුඹුරට දාන්න කැමතිත් නෑ. හානියක් වුණොත් ගෙවන්න වෙනවා කියලා බයට.
මේ සම්බන්ධයෙන් අප ඌව පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ විජේකොන් මහතාගෙන් ද විමසීමක් කළෙමු. ඒ මහතා මෙසේ කියා සිටියේය. මෙම ව්‍යාපෘතියේ කරන්න තියෙන තව පොඩි පොඩි වැඩ කොටස් කිහිපයක් තියෙනවා. තවමත් මුදල් අදාළ කොන්ත්‍රාත්කරුට නිදහස් කරලත් නෑ. ඔහු වැඩ මඟහරින බවක් පෙනෙන්නට තිබෙනවා. මේ නිසා මෙම ගොවි සංවිධානවලට අදාළ කොන්ත්‍රාත් කටයුතු කරන්නට දෙන්න අපි අදහස් කරගෙන ඉන්නවා. ගොවියෝ කියන විදිහට ඔය ගැටලු අපහසුතා තියෙනවනම් අපි ඒ සම්බන්ධයෙන් සොයා බලනවා යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වැල්ලවාය විශේෂ ජී.අයි.ආර්. ගරුසිංහ