කොටවෙහෙර සුධීරගම ගම්මානයේ වෙසෙන සියලුම වැඩිහිටියන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙනුවෙන් පැවති උපහාර වන්දනා වැඩසටහනක්, සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ විහාරස්ථානයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
මෙතෙක් කලක් ගම් ප්‍රදේශයේ මහපොළව සමඟ පොරබදමින් හා විවිධ කාර්යයන් සඳහා අනේකවිධ දුක් කරදර මැද ජීවිත සටනට උරදුන් ගමේ වැඩිහිටියන් කරන ලද්දාවූ මෙහෙවර උදෙසා ඔවුන් වෙනුවෙන් සංවිධාන කරන ලද උපහාර වන්දනා වැඩසටහන මෙලෙස විහාරස්ථානයේ දී ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදී දහම් පාසල් දරුවන්, ගමේ තරුණ කණ්ඩායම් එක්ව දර්ශනීය පෙරහරකින් වැඩිහිටියන් පිරිස විහාරස්ථානය වෙත හරසරින් කැඳවාගෙන ආහ. අනතුරුව ඖෂධීය පැනින් වැඩිහිටියන්ගේ දෙපා දෝවනය කර, ඖෂධීය උණු පැනින් නහවා, අසුන් ගන්වා ප්‍රණීත ආහාර පානාදියෙන් සංග්‍රහ කර තෑගි භෝග පිරිනමා උපහාර වන්දනාව මහත් භක්තියෙන් යුතුව සිදු කෙරිණි.
අනතුරුව ධර්ම දේශනයක්ද පවත්වා පිරිකර පූජාකර වැඩිහිටියන්ට ආශීර්වාද කිරීමද සිදු කරමින් වැඩිහිටි උපහාර වන්දනා වැඩසටහන නිමා කෙරිණි. කොටවෙහෙර සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ විහාරාධිපති මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.
නිකවැරටිය – ගයන්දි පමෝධා