Tuesday, May 13, 2025
Home » අනාගත ක්‍රිකට් තරු බිහි කරන ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් 21 දා සිට

අනාගත ක්‍රිකට් තරු බිහි කරන ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් 21 දා සිට

by sachintha
November 20, 2024 1:11 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වෙල, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සාමාන්‍යාධිකාරි සජිත් ගුණරත්න හා ව්‍යාපාර කළමනාකරු ඩොනවන් ඔන්ඩච්චි යන මහත්වරු අනුග්‍රාහක චෙක්පත් හුවමාරු කරගත් අයුරු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 21 වැනිදා ආරම්භ වේ. කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් 5ක් තරගාවලියට එක්ව සිටිති. මේ තරගාවලියේ අවසන් පූර්ව තරග මේ මස 28 වැනිදා සහ අවසන් මහා තරගය මේ 30 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය, කොළඹ වෙ‍ෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, තර්ස්ටන් සහ රාජකීය විදුහල් ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වේ.

ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ අනුග්‍රාහකත්වයෙන් මේ තරගාවලිය පැවැත්වෙන අතර, කුසලානය එළිදැක්වීමේ හා අනුග්‍රාහකත්වය පිරිනැමීමේ මාධ්‍ය හමුව පෙරේදා (18) කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ශාලාවේදී පැවැත්විණි.

වසර 2007දී ආරම්භ වූ මේ තරගාවලියේදී අනාගත ක්‍රිකට් තරු තමන් උපන් ප්‍රදේශය නියෝජනය කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මේ තරගාවලිය වාර්ෂික දින දර්ශනයේ ඉතා වැදගත් තරගාවලියක් වන අතර, අනාගත පරපුර පෝෂණය කිරීම මෙහි අරමුණ බවය. මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ප්‍රීමා සමූහයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සාමාන්‍යාධිකාරි සජිත් ගුණරත්න මහතා අනාගත ක්‍රිකට් තරු බිහි කිරීමට තම ආයතනය අඛණ්ඩව ලබාදුන් අනුග්‍රහය පිළිබඳ සතුටට පත්වන බව පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT