සිය වසරකට පසුවත් නීග්‍රෝවාසීහු, තවම නිදහස් වී නැත. වසර සියයක් ගතව ඇතත්, ඔවුන්ගේ ජීවිතය තවම අඩපණ වී ඇත්තේ, ඛේදජනක ලෙස වෙන් කිරීමේ සහ වෙනස් කොට සැලකීමේ දාමයන් නිසාය. වසර සියයකට පසුත්, නීග්‍රෝවරු ජීවත් වන්නේ ද්‍රව්‍යමය සමෘද්ධියේ විශාල සාගරයක් මධ්‍යයේ, දුප්පත්කමේ හුදකලා දූපතක ය. වසර සියයකට පසු නීග්‍රෝ තවමත් අෙමරිකානු සමාජයේ කොනක ගිලී සිටිනා අතරේ, ඔහුගේම භූමියේ පිටුවහලුන් බවට පත්ව තිබේ.
1963 අගෝස්තු 28 වැනිදා, ලින්කන් අනුස්මරණ පියගැටපෙළ මත්තේ මාර්ටින් ලුතර් කිං සිය වේගවත් වචන ඔස්සේ එසේ ජනයා ආමන්ත්‍රණය කළේය. ‘මට සිහිනයක් තිබේ’ යන ඔහුගේ මෙම කතාව අසා සිටීමට එදා පෙළ ගැසුණු ජනයා ලුතර් කිංගේ සිහිනය තමන්ගේ සිහිනය බවට පත්කරගෙන නික්ම යන්නට ඇත. එහෙව් ආමන්ත්රණ සවන් පුරවාලන මියුරු වේගයන් වුවද ඒවා සිහින මත්තේම ගිලී මියැදීමේ, ශෝකාන්ත රාශියක් මිනිස් සංහතිය වින්දනය කර තිබේ.
1982 වසරේ ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර වේදිකා මත්තේ සිය ප්‍රතිපත්තිය හරබර වාග් විලාසයකින් මුදා හළ විට, එය අසා සිටි ජනයා, තම තමන්ගේ සිහින ලෝක ඒ ඔස්සේ ගොඩනඟාගෙන නික්ම ගියහ. මේ ආකාරයට එදා විජේවීර සිදු කළ බොහොමයක් කතා අසා සිටීමෙන් එහාට, පියවර මැන්නේ නැත.
මේ කාලයේ ගුවන්විදුලියේ ජනප්‍රියම වැඩසටහනක් වූයේ ‘අසන්නන්ගේ ඉල්ලීම්’ය. තමන් කැමති ගීත, තැපැල් පතක ලියා අසන්නන්ගේ ඉල්ලීම්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ -7 යන ලිපිනයට තැපැල් කළ විට ඒවා ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූයේය. තමන්ගේ නම ද කියා, කැමැතිම ගීතය රේඩියෝවෙන් ඇසීමේ ආශාව ඇති දනා මේ වැඩසටහන වින්දනය කළා සේ, 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීරගේ චතුර කථිකත්වය දැක බලා ගැනීම සඳහා වේදිකාවේ පහළ ජනයා පෙළ ගැසී උන්නේය. ප්‍රතිඵලය එන විට විජේවීරට ලැබී තිබුණේ ඡන්ද දෙලක්ෂ හැත්තෑතුන්දහසකි. ප්‍රතිශතය 4.19%කි. ජවිපෙ දේශපාලනය වින්දනය කළ ද ජනයා හැම කල්හිම ඡන්දය සඳහා පෙළ ගැසුණේ වෙනත් මාවතක් වෙතය. මේ ආකාරයට වසර ගණනාවක් ගෙවී ගියද පසුගිය ජනාධිපතිවරණය තෙක් ජවිපෙ හැමවිටම, කතාව සහ ක්‍රියාව ඡන්දය සඳහා පෙළ ගස්වාගත නොහැකි බලවේගයක් බවට පත්ව සිටියේය.
මේ තීරුව අද සිය පෙරවදන ලෙස ගනු ලැබුවේ සමහර කතා ජනතාවට සිහින මවමින් දිගු කලක් රැව් දුන්නේ වුවද, ඒවා පසු කලෙක සැබෑ වෙන්නේ බව පසක් කිරීම උදෙසාය.
අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව රැස් වන්නේය. වෙනදා මෙම මංගල්‍යය වෙනුවෙන් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පාර වසා දමන්නේය. අශ්වාරෝහක පෙළපාළියක් පෙරටු කරගත් රාජ්‍ය නායකයා, පැයකට කිලෝමීටර විස්සේ වේගයෙන් එන රථයකින් උත්සව සභාව සඳහා පිවිසෙන්නේය. එතැනදී බුලත් හුරුලු දී ජනපති පිළිගත් පසු, අභිනව පාර්ලිමේන්තුව ඇමතීම සඳහා ජනාධිපතිවරයා මුලසුන ගන්නේය. සැමදා පැවැති මේ පිළිවෙළ අද ලඝු වන්නේ, පැමිණීම සහ කතාව යන දෙකටය.
මේ රටේ සෑම ජනාධිපතිවරණයකදීම ජවිපෙට සක්‍රිය භූමිකාවක් තිබුණි. තහනම් යුගයේ පවා තම කියැවීම අනුව ජවිපෙ ජනාධිපතිවරණයේදී දේශපාලනය කළේය. අපේක්ෂකයා ලෙස සිය පක්ෂයේ අයෙක් ඉදිරිපත් වුවද නොවුවද, සිය දේශපාලනය වෙනුවෙන් ඔවුහු එහිදී බර අඩි තැබුවෝය. දස වැනි පාර්ලිමේන්තුව යනු ඒ බර අඩි තැබීමේ එකතුව, එක මිටට ගෙන ජාතික ජන බලවේගය ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් මේ රටේ රාජ්‍ය බලය හොබවන දිනය ය.
එක්තරා කාලයක එය සිහිනයක්ම විය. මර්දනය ගලා ගිය ඉසව්වේ යළි නැඟීටීම නොව ටයර් සෑ අද්දරින් පුතු සොයා ගැනීම උදෙසා මවුපියෝ වෙහෙස වූහ. හැඳ සිටි ඇඳුමේ නොදැවුණු නටබුන් ඇත්තේ දැයි විමසමින් වෙවුලන දෑතින්, දැලි අඟුරු, අළු දුලී පිරූ, පියවරුන්ය. ඇසේ කෙවනි කෙළවරට වගුරුවන්නට කඳුළු කාන්දු නොවන්නේ හෙයින් ළය මත්තේ මහවැලි දියවර ඉක්මවා කඳුළු ගලන මවුවරුන් දුටුවේ, පුතුම මිස ඒ සිහිනය නොවන්නට ඇත. එදා දේශපාලනයේ මෙදා දිනය ලියැවී තිබුණේ වුවද, භයංකාරත්වයේ පිටු තුළ ඒ අකුරු කියැවීමට තරම් වෙරක් ඇති මිනිස් ජීවිත හිඟ විය.
“ මා ඉතිහාසයේ තීන්දුව කෙරෙහි විශ්වාසය තබමි. එය පිළිගැනීමේ සූදානමින් සිටිමි. ඉතිහාසයේ සැබෑ නිර්මාතෘවරුන් වනුයේ ජනතාවය. ජනතාව පමණක්මය. පීඩිත කම්කරුවන්, දුගී ගොවීන්, රැකියා විරහිත තරුණ තරුණියන්, මේ ආදී වශයෙන් වන මුළු සමාජයේම පහළ සහ මැද තට්ටුව සදාලන නිර්ධන පංතියත්, අර්ධ නිර්ධන පංතියත්, මධ්‍යම පංතියේ පහළ තට්ටුවත්, මේ රටේ වර්තමාන ඉතිහාසයේ මැවුම්කරුවන් වනු ඇත. ඔව්! අපි ඔවුන් කෙරෙහි විශ්වාසය තබමු. අපි නිරාහාරයෙන් සහ අර්ධ නිරාහාරයෙන් සිටින, වැරහැලි හැඳගත් සකලවිධ සමාජ අතවරයකට හා පීඩාවකටම බඳුන් කරනු ලැබූ මිනිසුන් කෙරෙහි විශ්වාසය තබමු. මේ ජනතාව, සමාජ යුක්තිය මිනිස් අයිතිය පතා, නව ලොවක් පතා නැඟී සිටිනු ඇත. එදිනට අපගේ නිර්දෝෂීභාවය පිළිගැනෙනු ඇත. ප්‍රකාශ කෙරෙනු ඇත.” යනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ විජේවීර ලබාදුන් සාක්ෂිය, අද රැස්වෙන පාර්ලිමේන්තුවේ සමස්ත ප්‍රකාශය වනු ඇත්තේය.
එදා ගිනියම් වූ දේශපාලනය තුළ ‘මට සිහිනයක් තිබේ’ යැයි විශ්වාස කළ මිනිසුන්ගේ ජයග්‍රහණය, ලියවී තිබුණා සත්තය. අඳුරු යුගයක ගිනිගත් මතකය අද සීතල වී ඇත්තේ ප්රජාතන්ත්රවාදී භූමියේය. දස වැනි පාර්ලිමෙන්තුවේ මංගල සභා වාරය වනාහි ඒ මිනිසුන්ගේ කතාවේ පෙරවදන වන්නේය.