කොළඹ නගරය අවට මත්පැන් සිල්ලරට විකිණීම කරනු ලබන බලපත්‍ර ලත් ස්ථාන කිහිපයක් හදිසි පරීක්ෂා කිරීමකට ලක් කිරීමේදී ආරක්ෂිත මුද්‍රා නැති සහ සැක සහිත ආරක්ෂිත මුද්‍රා සහිත විදේශ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ලැබුණු පැමිණිලි මත සිදු කරන ලද විමර්ශනවලින් පසුව ආරක්ෂිත මුද්‍රා ස්ටිකර් සම්බන්ධ බලපත්‍ර ස්ථානයන් පරීක්ෂා කිරීම සිදු කර ඇත.
එම විදේශ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සඳහා සුරාබදු නිලධාරින් භාරයට ගෙන සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා පවසයි.
ඒ අනුව අදාළ බලපත්රධාරින් වෙත චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව කී ඒ මහතා, එමෙන්ම මෙහිදී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද විදේශ මත්පැන් බෝතල් ද පවතින බව නිරීක්ෂණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට ද පියවර ගෙන ඇතැයිද කීවේය.
තවද, මෙවැනි වැටලීම් දිවයින පුරා අඛණ්ඩව සිදු කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.එන්. ජයවීර මහතා විසින් නියෝග කර ඇති අතර, ආරක්ෂිත මුද්‍රා නොමැති හෝ සැක සහිත ආරක්ෂිත මුද්‍රා සහිත මත්පැන් සන්තකයේ තබා ගැනීම අදාළ බලපත්‍රය අත්හිටුවීමට ඍජු හේතුවක් වන බව ද සියලු බලපත්රධාරින් වෙත සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.